brand logo

ශ්‍රී ලංකාව තවත් එක්දින ලෝක කුසලානයක් දිනාගනු දැකීම මාගේ අපේක්ෂාවයි - ආනා පුංචිහේවා

17 March 2020

අප රට නුදුරේදීම තවත් එක්දින ලෝක කුසලානක් දිනාගනු දැකීම තම අපේක්ෂාව යැයි 1996 ලෝක කුසලාන දිනාගැනීම සඳහා පසුබිම සැකසූ එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ආනා පුංචිහේවා මහතා අදාළ ජයග්‍රහණයෙන් වසර 24ක් සපිරෙන මොහොතේ ‘අරුණ’ට පැවසීය. වර්ෂ 1996 මාර්තු 17 වැනිදා පකිස්තානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරදවමින් එහි ශූරයන් බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්වූයේ මෙරට පළමු ක්‍රිකට් ලෝක කුසලාන හිමිකරදෙමිනි. ‘ලෝක කුසලාන දිනලා මේ වනවිට අවුරුදු 24ක් ගෙවිලා තියෙනවා. අපි තරගය දිනලා ලෝක කුසලානය අතට ගත්ත මොහොත මට ඊයේ වගේ මතකයි. නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර 50 ලෝක කුසලාන දිනනවා දකින එකයි මගේ එකම බලාපොරොත්තුව’ යැයි පැවසූ ආනා පුංචිහේවා මහතා ‘මට පේනවා අපිට දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන්ව ඉදිරියට රැගෙන යන්න හොඳ සැලැස්මක් අවශ්‍යයි. ඒත් ඔවුන්ගේ දක්ෂතාව හරියට පාවිච්චි කරන්න හරි වැඩසටහනක් නැහැ’ යි යනුවෙන්ද පවසා සිටියේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය වෙනස් වී තිබෙන බව කී පුංචිහේවා මහතා ‘ලෝකේ ක්‍රිකට් ස්ටෑන්ඩර්ඩ් එක වෙනස්. ඒ කාලේ ක්‍රිකට් දැන් ගහලා බැහැ. අනිත් රටවල් වගේ අපිත් ඊට වඩා හොඳ දේවල් දැන් කරන්න අවශ්‍යයි. මට දුකයි තවමත් ඒක ලංකාවේ වෙලා නැහැ. ඒ ටික හදා ගත්තොත් අපිට තවත් එක්දින ලෝක කුසලානයක් දිනන එක එතරම් අමාරු නැහැ’ යි කීවේය. මාතෘකාවට තුඩු දී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක කුසලාන දිනූ 24 වැනි වර්ෂය සැමරීමට කිසිම සූදානමක් නැති බවත්, ලබන වසරේදී 25 වැනි වර්ෂය හොඳින් සැමරීමට අපේක්ෂා කරන බවත් පුංචි හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේය. ගයාශාන් විතානආරච්චි
 

More News..