brand logo

ශ්‍රී ලංකාව ආබාධ අතුරින් දෙවැනි සටනට සැරසෙයි

01 January 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා (03 වැනිදා) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතය. ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජය වූ පළමු තරගයෙන් අනතුරුව තරගාවලිය සමව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වේ. දකුණු අප්‍රිකාව සමගින් පැවැති අවසන් තරග 5න් 4කම ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඉකුත් තරගයේ ජයග්‍රහණය පමණක් දකුණු අප්‍රිකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පැවැති ටෙස්ට් තරග 30ක් අතුරින් තරග 15ක ජය දකුණු අප්‍රිකාවටත්, තරග 9ක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබේ. ශ්‍රී ලංකා සංචිතයේ මේ වනවිට ක්‍රීඩකයන් 7 දෙනෙකුම ආබාධ වලට ලක්ව ඇති අතර ඉන් ක්‍රීඩකයන් 4 දෙනෙකුම නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයන්ට ලක්වීම විශේෂත්වයකි. ධනංජය ද සිල්වාගේ ආබාධය සුව වීමට දෙසතියක කාලයක් ගතවන බවට දකුණු අප්‍රිකා ආරංචි මාර්ග වාර්තා කළ අතර ඒ අනුව බොහෝවිට දෙවන තරගය ඔහුට මග හැරෙනු ඇත. වනිඳු හසරංග, කසුන් රාජිත සහ ලහිරු කුමාරගේ ආබාධයන්ගේ ස්වභාවය පිළිබඳව සහ මීළඟ තරගය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳව මේ දක්වා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත. මුල් තරගයේදී දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු අතර පැමිණීමට අපොහොසත් වූ අතර වනිඳු හසරංග හැරෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණියෙන්ද සැලකිය යුතු දක්ෂතා වාර්තා නොවීය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆැෆ් ඩු ප්ලේසිස් වාර්තා කළ ලකුණු 199ක ඉනිම පළමු තරගයේදී වඩාත් කතාබහට ලක්වූ ඉනිම වූ අතර ලකුණු 200 සීමාවේදී බිඳ වැටුණු මුල් කඩුළු 3න් පසු අප්‍රිකානු ලකුණු පුවරුව 600 සීමාව දක්වා රැගෙන ගියේ ඩු ප්ලේසිස් විසිනි. මේ අතර දෙවන තරගයේදී අප්‍රිකානු වේගපන්දු බල ඇණිය ශක්තිමත් කරන්නට කගිසෝ රබඩා සහ බීරන් හෙන්ද්‍රික්ස් එක්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. දකුණු අප්‍රිකාව මේ වනවිට 3 වන අදියරේ අගුළු දැමීමක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එය සම්පූර්ණ අගුළු දැමීමක් සිදු කිරීමට නියමිත බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා පවසා තිබේ, ඉකුත් මස මුල් සතියේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබුණු ටෙස්ට් තරගාවලියද, කොරෝනා වයිරසය හේතුවෙන් අතහැර දැමුණි. එංගලන්ත සංචාරය අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වයිරසය වැලඳුණු බවට පැවසුණද, ඒ කවරකුටද යන්න පිළිබඳව ඔවුන් ප්‍රසිද්ධ නොකළේය.
 

More News..