brand logo

ශ්‍රී ලංකාව අයි.සී.සී. ක්‍රිකට් ශ්‍රේණියේ දැඩි පසුබෑමක

04 May 2020

අයි.සී.සී. නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ පසුබෑම තවදුටත් ප්‍රදර්ශනය වී ඇත. එක්දින මෙන්ම පන්දුවාර 20 තරග අංශයේද මේ පසුබෑම කැපී පෙනෙයි. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලකුණු 116ක් සමගින් එහි පළමු ස්ථානයට පැමිණීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටී. 2016 වසරේ පටන් අදාළ ශ්‍රේණියේ පළමු ස්ථානයේ රැඳී සිටි ඉන්දියාව (114) තෙවැනි ස්ථානයට ඇද දමමින් ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයට පැමිණ සිටි අතර ලකුණු 115ක් සමගින් එහි දෙවැනි තැන නවසීලන්තයට හිමිව තිබේ. එම ලැයිස්තුවට අනුව ලකුණු 105ක් වාර්තාකරගෙන සිටින එංගලන්තයට සිව්වැනි ස්ථානය හිමිවන අතරවාරයේදී ලකුණු 91ක් සමගින් ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ රැඳී සිටියි. දකුණු අප්‍රිකාව (90), පාකිස්තානය (86), බටහිර ඉන්දීය කොදෙව් (79), බංග්ලාදේශය (55) සහ සිම්බාබ්වේ (18) පිළිවෙළින් ශ්‍රී ලංකාව පිටුපසින් සිටින කණ්ඩායම් වේ. 2019 ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්තය (127) අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්හි මුල් තැනට පත්ව සිටී. එංගලන්තයට වඩා ලකුණු 8ක් පිටුපසින් සිටින ඉන්දියාව එහි දෙවැනි ස්ථානයෙත්, ලකුණු 116ක් සමගින් නවසීලන්තය එහි තෙවැනි ස්ථානයේත් පසුවේ. එම ලැයිස්තුවට අනුව සිව්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත් (108), පස්වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත් (107), හය වැනි ස්ථානය පාකිස්තානයටත් (102) හිමිව තිබේ. මෙහිදී එක්දින ශ්‍රේණියේ දැඩි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාව ලකුණු 85ක් සමගින් 8 වැනි ස්ථානයේ රැඳී සිටී. බංග්ලාදේශයද ශ්‍රී ලංකාව අභිබවා ගොස් සිටින අතර ඔවුන් ලකුණු 88ක් සමගින් 7 වැනි ස්ථානයේ පසුවේ. එක්දින ශ්‍රේණියේ 9 වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ට (76) සහ 10 වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයට (55) හිමි විය. මීට අමතරව අයි.සී.සී. ය මගින් නම් කරන ලද නවතම විස්සයි විස්ස ශ්‍රේණියේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාවට (278) හැකි වූයේය. එම ශ්‍රේණියේ දෙවැනි ස්ථානය ලකුණු 268ක් සමගින් එංගලන්තයට හිමිව තිබෙන අතර එංගලන්තයට වඩා තවත් ලකුණු දෙකක් පිටුපසින් සිටින ඉන්දියාව (266) එම තෙවැනි ස්ථානයේ පසුවේ. ලකුණු 260ක් සමගින් පාකිස්තානය එම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්වන අතරවාරයේදී දකුණු අප්‍රිකාව (258) සහ නවසීලන්තය (242) පිළිවෙලින් පස්වැනි සහ හයවැනි ස්ථානයන්හි රැඳී සිටී. මුළු ලකුණු 230ක් රැස්කරගෙන සිටින ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ශ්‍රේණියේ හිමි ඇත්තේ 7 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාවට වඩා එක් ලකුණුක් පිටුපසින් සිටින බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් 8 වැනි සහ 9 වැනි ස්ථානයට පත්ව සිටින අතර මුළු ලකුණු 228කට හිමිකම් කියන ඇෆ්ගනිස්තානය 10 වැනි ස්ථානයට හිමිකම් කියයි. ගයාශාන් විතානආරච්චි
 

More News..