brand logo

ශ්‍රී ලංකාව අත්හැරි ෂෙහාන් කැලිෆෝනියාවෙන් ක්‍රිකට් පිටියට

11 January 2021

ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ඇමරිකානු ක්‍රිකට් ලීගය සඳහා කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කිරීමට නියමිත බවට වාර්තා වේ. ඒ ෂෙහාන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් සමුගත් බවට නිවේදනය කිරීමත් සමගිනි. නිමාවූ එල්.පී.එල්. තරගාවලියේ අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් නියෝජනයෙන් අනතුරුව සිය බිරිඳ වෙසෙන ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය බලා ෂෙහාන් පිටත් විය. මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් සමාජය පුරා විවිධ මත පැතිර ගිය අතර මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ සිට ‘අරුණ’ වෙත අදහස් දැක්වූ ෂෙහාන් ‘ඇත්තටම කනස්සල්ලෙන් ගත්ත තීරණයක් නෙමෙයි මේක. මගේ විවාහයෙන් පස්සේ බිරිඳ ජීවත් වුණේ ඇමරිකාවේ.ඉතින් මට ඇය ළඟට යන්නත් උවමනාව තිබුණා. ඒවගේම ඇමරිකානු ලීගය සඳහා මම ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දැනට මට ඒ අය කිව්වේ කැලිෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වෙන්න කියලා විතරයි. පාසල් පිටියේදී ඉඳලා මේ වෙනකල් මගේ මහන්සියෙන් ආපු දුර ගැන මම සතුටුයි. ඒ වගේම මේ වගේ තීරණයක් ගත්ත එක මම හිතුවා හොඳයි කියලා’ යි පැවසීය. මේ අතර මෙම තීරණය සම්බන්ධයෙන් සහ පසුගියදා ඔහු පිළිබඳ සමාජ මාධ්‍ය වල සංසරණය වූ පුවත් ගැන විමසීමේදී ෂෙහාන් ‘මම දැක්කා සමාජ මාධ්‍ය වල බැණලත් තියනවා. සමහරු මට සුබ පතලත් තිබුණා. එහෙම තමයි ඉතින් ක්‍රීඩාවේදී අපි හැමදේටම මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම මගේ අඩුපාඩුවක් තිබුණා නම් ඉදිරියේදී එය හදා ගන්න එක මගේ යුතුකමක්. මම කවදාවත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට බනින්නේ නෑ. මොකද ඒ අය මගෙත් එක්ක පෞද්ගලික තරහක් නෑ.මම වගේම එයාලත් ක්‍රීඩාවට ආදරෙයි. බනින්නේ තියෙන හැඟීම නිසා.’ යි පැවසුවේය. 29 වැනි වියෙහි පසුවන ෂෙහාන්, 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා අතර මේ දක්වා එක්දින තරග 12කදී සහ පන්දුවාර 20 තරග 18කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ෂෙහාන් පළමු පෙළ තරග වලදී ශතක 10ක්, අර්ධ ශතක 30ක් සහ ද්විත්ව ශතක 2ක් වාර්තා කර ඇති අතර 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගයකදී ලකුණු 96(109)ක් වාර්තා කරමින් දසුන් ශානක සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමක් 6 වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ ඉහළම ලකුණු සබඳතාව වූ ලකුණු 177ක්ද වාර්තා කර තිබේ. චතුර රණසිංහ
 

More News..