brand logo

ශ්‍රී ලංකාවේ ස්ථාවරය දක්වන ජිනීවා සමුළුව අද

24 February 2020

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (24 වැනිදා) ආරම්භ වේ. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ ඊයේ 23 වැනිදා ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සිල සභාපති එළිසබෙත් ටිචි ෆිස්ල්බර්ග් හමු වී ඇත. විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට මානව හිමිකම් කවුන්සිලය විසින් 2015දී සහ 2017දී සම්මත කරගත් 30/1, 34/1 හා 40/1 යන යෝජනා පිළිබඳව ශ්‍රී ලංකාව දරනු ලබන සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට මෙරට රජය ගෙන ඇති තීරණය පිළිබඳව එම හමුවේදී විදේශ ලේකම්වරයා විසින් සභාපතිනිය දැනුවත් කර තිබේ. අදාළ යෝජනා පිළිබඳ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ තීරණය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විධිමත් ලෙස දැනුවත් කරන බව විදේශ ලේකම්වරයා විසින් මෙහිදී සභාපතිනියට පවසා ඇති අතර 43 වැනි සැසිවාරයට සහභාගි වන මෙරට විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම පිළිබඳවද ඇයට හඳුන්වා දීමක් සිදුකර ඇත. විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට ලබන 27 වැනිදා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කවුන්සිලය හමුවේ වාචිකව කරුණු දැක්වීමට නියමිතය. විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන ද එදින මහ කොමසාරිස්වරියගේ ස්ථාවරයට ප්‍රතිචාර දැක්වීමට නියමිතය.   නයන තරංග ගමගේ
 

More News..