brand logo

අවුරුදු 112ක් ආයු වැළදූ වික්‍රමආරච්චි මියායමට පෙර අරුණට කී දේ

13 November 2018

ශ්‍රී ලංකාවේ මේ වන විට ජීවත්ව සිටි වයස්ගතම පිරිමියා ලෙස පිළිගැනුණු ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එඩ්වින් වික්‍රමආරච්චි මහතා පසුගිය 8 වැනිදා දිවියෙන් සමුගත්තා. මීට පෙර ඔහු පිළිබද තොරතුරු අප අරුණ පුවත්පත හරහා ඔබ වෙත රැගෙන ආවා. 1907 වසරේ අප්‍රේල් මස 24 වන දින උඩුවැලිවිටියේදී උපත ලැබූ එඩ්වින් වික්‍රමආරච්චි මහතා මියයන විට වයස අවුරුදු 112ක් ආයු වළඳා තිබුණා. ඒ මහතා වෘත්තියෙන් වතු කංකානම් කෙනෙකු ලෙස කටයුතු කර තිබුණා. එල්සි ගොවිපලාගොඩ මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඔහු පුතුන් 8දෙනෙකු හා දියණියන් දෙදෙනෙකුගේ පියෙකු ද වනවා. ඔහුගේ අවසන් කටයුතු පෙරේදා (11දා) සවස බද්දේගම ආදාහනාගාරයේදී සිදු කෙරුණා. එඩ්වින් වික්‍රමආරච්චි මහතා මියයාමට ප්‍රථම අප සමඟ සිදු කළ කතාබහ පහතින්.. මට දරුවෝ දහ දෙනෙක් හිටියා. එදා රුපියල් 12කින් මුළු මාසයක්ම අපිට ජීවත් වෙන්න පුළුවන් වුණා යැයි ගාල්ල නාගොඩ පොලිස් වසමේ පදිංචි දැනට ලංකාවේ වෙසෙන වයස්ගතම තාත්තා ලෙස සැලකෙන අවුරුදු 112ක් වයසැති ඇඩ්වින් වික්‍රමාරච්චි මහතා කියයි. අරුණ පාඨකයින් වෙනුවෙන් ඇඩ්වින් වික්‍රමාරච්චි මහතා පදිංචිව සිටින ගාල්ල නාගොඩ, උඩුවැලිවිටිය බටහිර ප්‍රදේශයේ සුන්දය නිවස වෙත අපි පා නැගුවෙමු. දරුවන් 10 දෙනකුගේ පියෙකු වන ඇඩ්වින් වික්‍රමාරච්චි මහතාට දරු මුනුබුරු මිනිබිරියන් 60කට වඩා වැඩියෙන් සිටී. ලංකාවේ “වයස්ගතම තාත්තා” ලෙස ඇඩ්වින් වික්‍රමාරච්චි මහතාගේ නම ලේඛනවල සඳහන් වන බව නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී රේණුකා දමයන්ති මහත්මිය පවසන්නීය. වයස අවුරුදු 112ක් වුවත් ඇඩ්වින් සීයාට ඉහෙන් බහින ලෙඩක් මෙතෙක් සෑදී නැත. ඇඟේ අමාරුවක් හැදුනොත් ඔහු කරන්නේ කොත්තමල්ලි ටිකක් උණුකර වතුර පානය කිරීමය. කොස්, පොලොස් පලා වර්ග, අල බතල වැනි ගමේ ආහාර අනුබව කිරීම නිසාත් යහපත් සෞඛ්‍ය පුරුදු නිසාත් තමාට දීර්ඝායුෂ ලැබී ඇති බව ඇඩ්වින් සීයා කියයි. එකල තේ කෝප්පය සත එකක් වූ බවත්, හාල් සේරුව සත 10ක් වූ බවත් ඇඩ්වින් තාත්තා මතක් කළේය. “මට දැන් වයස අවුරුදු 112යි. මට දරුවෝ 10ක් හිටියා. ඉන් දෙදෙනෙක් නැතිවෙලා. අපි ඒ කාලේ වස විස තියෙන ආහාර කෑවේ නැහැ. ගමේ ගොඩේ ආහාර වගා කර ගත්තා. ඉහෙන් බහින ලෙඩක් දුකක් හැදුනේ නැහැ. පොඩි අසනීපයක් හැදුනත් ගමේ බෙහෙතක් කරගත්තා. හන්දියට ගිහිල්ලා ගෙනාවේ ඕනම දෙයක් විතරයි. අනේ මහත්තයෝ අද කොහොම වුනත් එදා නම් අපිට රුපියල් දොළහකින් මාසයක්ම ජීවත් වෙන්න පුළුවන් වුණා. අද ගමේ රටේ ප්‍රශ්න විසදන්න පොලීසිය තියෙනවානේ, එදා ගමට, පළාතට හිටියේ ගම් මුලාදෑනි. උන්නැහේ හරි තේජවන්තයි. තමන්ගේ නිලය හරියට ම රැක්කා. ඕන්නැති දේවල් කරන්න ගියේ නැහැ. අවුරුදු 112ක් වයස වුව ද ඇඩ්වින් තාත්තාට තවම පත්තර කියවීමට හැකියාව ඇත්තේය. “දුවේ ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්න ඕනනම් ගමේ වෙලේ හැදෙන වස විස නැති දේවල් කාපල්ලා. කියා තාත්තා නිතර කියන බව , තාත්තා දැනට රැකබලා ගන්නා දියණියක වන කුසුමතී වික්‍රමාරච්චි මහත්මිය කීවේය. ලංකාවේ වයස්ගතම තාත්තා හොයාගෙන ගිය මේ ගමනට එක්වූ දකුණු පළාත් සමාජ සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රියානි විතාන මහත්මිය මෙසේ කීවාය.“ ඇත්තටම හරි සතුටුයි කියන්න මේ තාත්තා අවුරුදු 112ක් වයස වුනත් හොඳ සනීපෙන් සිය නිවසේම වාසය කරනවා. එතුමා හොඳ කිරි ගොවියෙක්. ඇග වෙහෙසා වැඩකළ වතු කංකානම් කෙනෙක්. යහපත් සෞඛ්‍ය පුරුදු නිසාම ඔහු දීර්ඝායුෂ විදිනවා.” නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී දමිත් පතීරණ මහතාද 112 තාත්තා සොයාගිය ගමනට අප හා එක්විය.
 

More News..