brand logo

ශ්‍රී ලංකාවේ කෙරුම් ගැන ලන්ඩන් පත්තර කතා කරයි

08 June 2019

Cricket By Chance යනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ ලස්සන වැකියක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව අවස්ථාවේ හැටියට වෙනස්වන අපූරු සෙල්ලමක් බවය. ඒ කතාව සම්පූර්ණ ඇත්තය. අද ඉහළින්ම ටෙස්ට් තරගයක් දිනන ප්‍රබල ටෙස්ට් පිලක් ලබන සතියේ ඉතා දුර්වල ටෙස්ට් පිලක් අතින් අන්ත පරාජයක් ලැබිය හැකිය. පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් ලබන සුපිරි පිතිකරුවා දෙවැනි ඉනිමේ පළමු පන්දුවේදීම දැවී යයි. තරග අට නමයකදීම එකට දෙකට, පහට අවුට් වී කාගේත් අපහාසයට ලක්වන පිතිකරුවා ඊළඟ තරගයේදී විශිෂ්ට තනි පිති හරඹයක යෙදී තම කණ්ඩායමට ජය ලබා දෙයි. Cricket by Chance කියන්නේ ඒකය. මේ දිනවල මෙහි එංගලන්තයේ පැවතෙන ලෝක ක්‍රිකට් සැණකෙළියේදීත් සිදුවන්නේ එයමය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ ලකුණු 106 ට දැවී ගොස් අන්ත පරාජයකට ලක් වී හැමෝගේම විහිළුවට ලක් වූ පාකිස්තානය ඊට දවස් තුනකට පසු මෙවර කුසලානය දිනා ගැනීමට පෙරුම් පුරමින් සිටින එංගලන්ත කණ්ඩායමට දුවන්නට ගැහුවේය. ලෝකයේ ප්‍රබලතම එක්දින කණ්ඩායමක් වන ද. අප්‍රිකාව තමන් මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් තුනම පරාජය වී කනස්සල්ලට පත් වී සිටිති. නමුත් තව සති දෙකක් ගත වූ පසු ඔවුන් ලෝක ශූරතාවයේ බලවතුන් වී සිටීමටද බැරිකමක් නැත. ‌ Daily Telegraph මෙවර දුර්වලම කණ්ඩායම ශ්‍රී ලංකාවයි අපේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පිල අතින් අන්ත පරාජයක් ලැබූ පසු මුළු ක්‍රිකට් ලොවම අපිට සිනාසුණහ. බ්‍රිතාන්‍යයේ Daily Telegraph පුවත්පත කියා සිටියේ මෙවර ලෝක කුසලානයට සහභාගි වන දුර්වලම ටෙස්ට් පිල ශ්‍රී ලංකාව බවයි. ‘‘මේ ශ්‍රී ලංකා පිල මෙහාට එව්වට වඩා නුවර පැත්තේ පිටිසර ගමක පිට්ටනියේ කදුරු බෝල ගහන කොල්ලන් 11 ක් මෙහාට එව්වා නම් නරකදැයි ගාඩියන් පුවත්පතට කොලමක් ලියූ සුද්දෙකු උපහාසයට අසා තිබුණි. කිඹුලන් කෑවට වඩා කොහිලකටු ඇනෙන එක ​අමාරුයි කීවා වගේ ශ්‍රී ලංකා පිලේ ප්‍රථම පරාජයෙන් පසු දරුණුම විවේචනය එල්ල වූයේ ශ්‍රී ලංකාවේ මුහුණුපොත් කාරයන්ගෙන්ය. අපේ පිලේ ක්‍රීඩකයන්ට උපහාසවලට වඩා දරුණු අපහාස එල්ල කරමින් ඔවුන් තියුණු ලෙස විවේචනය කරමින් ෆේස් බුක්කාරයෝ අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බින්දුවටම බස්සන්නට වෑයම් කළහ. ශ්‍රී ලංකාව ප්‍රථම තරගය පැරදී සිටි අවස්ථාවේ කළ යුතුව තිබුණේ දෙවැනි තරගය දිනන ලෙස ඔවුන් ධෛර්යමත් කිරීම බව ඇතැම් මාධ්‍යවලටත් අමතක වී තිබුණි. වාසනාවට අපේ ශ්‍රී ලංකා කණ්ඩායම කාඩිෆ් නුවරදී ඇෆ්ගනිස්තානය හා සටන් වැදුණේ අපි කොහොම හරි මෙය ජය ගන්නවා යන අධිෂ්ඨානයෙනි. කුසල්, දිමුත් හා තිරිමාන්න හැරුණු විට අපේ පිතිකරුවන් අසාර්ථක වුවත් කණ්ඩායම ලබාගත් ලකුණු 201 මනාව රැක ගැනීම සඳහා මාලිංග හා නුවන් ප්‍රදීප් අති විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ශ්‍රී ලංකාව ජය කණුව කරා ගෙන ගියහ. නවසීලන්ත තරගයෙන් පසු අපිට ඔච්චම් කරමින් හිනැහුණ බ්‍රිතාන්‍ය පත්තරකාරයෝ බදාදා ලොකු ලොකු සිරස්තල යොදමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ධෛර්යය හා උත්සාහය වර්ණනා කළහ. මාලිංග හා ප්‍රදීප්ට අත්පොඩි ගැසූහ. ලසිත් මාලිංග දණින් වැටී ජයඝෝෂා නගන සුන්දර පින්තූරයක් සමග ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය පළ කළ ලිපියේ කොටස් කිහිපකි මේ. London Telegraph Pace Duo Rescue Sri Lanka පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකාව බේරා ගනිති දවස් තුනකට පෙර නවසීලන්තය ඉදිරියේ දණින් වැටුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. නමුත් ඊයේ දස දහස් ගණනක ක්‍රීඩාලෝලීන් ඉදිරියේ දණින් වැටී ජය ඝෝෂා නැගුවේ ශ්‍රී ලංකාවේ අසහාය පන්දු යවන්නා ලසිත් මාලිංගය. මාලිංග තමන්ගේ සුප්‍රසිද්ධ යෝකර් පන්දුව නැවත යොදාගෙන තිබේ. සීසෝවක් මෙන් ජයග්‍රහණය දෙපැත්තට වරින් වර මාරුවෙමින් පැවති මේ තරගය මෙතෙක් ලෝක කුසලානයේ දකින්නට ලැබුණු වඩාත්ම උද්වේගකර තරගයයි. පිට පිට එක් දින තරග 21 ක් පැරදුණ ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සමග එකතු වී ලබාදුන් මෙම විශිෂ්ට ජය නිසා ශ්‍රී ලංකා පිල තම ඔළුව කෙළින් තබාගෙන කාඩිෆ් නගරයෙන් අභිමානාත්මකව පිටව ගියේය. London Guardian ඇෆ්ගනිස්තානය අතට ලැබුණ අවස්ථාව නැතිකරගත්තා ශ්‍රී ලංකාව 1996 දී ලෝක කුසලානය දිනන විට ඇෆ්ගනිස්තානයට ක්‍රිකට් ටීම් එකක් තියා පිට්ටනියක්වත් තිබුණේ නැත. නමුත් ඊයේ මෙම නව ටෙස්ට් කණ්ඩායම ශ්‍රී ලංකා ටෙස්ට් පිල පරාජය කිරීමට ඔන්න මෙන්න තරම් ළඟා වී නැවත වැඩේ බකල් කර ගත්තේය. දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ශ්‍රී ලංකා පිලට දුන් විශිෂ්ට ආරම්භය ලකුණු 300 කරා ගෙන යාමට මොහොමඩ් නබි ගෙන් ඉඩක් ලැබුණේ නැත. ශ්‍රී ලංකාව පරාජය කිරීම සඳහා පහසු ලකුණු 181 ක් හඹා ගිය ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ධෛර්යය හා දක්ෂතා අවතක්සේරු කළේය. තිසර පෙරේරාගේ දක්ෂ උඩ පන්දුවක් නායක දිමුත් දවාගත් දුවද්දී දැවී යාමත්, ලසිත් මාලිංග හා නුවන් ප්‍රදිප්ගේ විශිෂ්ට පන්දු යැවීමත් ඉදිරියේ ඔවුන් අසරණභාවයට පත් විය. අනිද්දා ශ්‍රී ලංකාව අතින් පකිස්තානයත් පරාජය වුවහොත් එංගලන්ත කණ්ඩායම ඔවුන් තවදුරටත් ලෙහෙසියෙන් පරාජය කළ හැකි පිලක් වශයෙන් අවතක්සේරු නොකළ යුතුය. බ්‍රහස්පතින්දා මේ ලියන මොහොතේ තරගාවලි දර්ශකයේ ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි. ලකුණු ලබා ගැනීමේ වේගය ඉතාම අඩු නිසා ශ්‍රී ලංකාව සිටින්නේ 8 වැනි ස්ථානයේය. ලෝක ශූරතාවයෙන් ජය ලබන කණ්ඩායම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ක්‍රීඩා ලෝලයන් විශාල වශයෙන් මුදල් ඔට්ටු අල්ලමින් සිටිති. ඔට්ටු සමාගම් කියන අන්දමට මෙවර ලෝක ශූරතාව දිනන ප්‍රියතම කණ්ඩායම ඔට්ටු අනුපාත 7/4 ලබා ඇති එංගලන්ත පිලයි. ඉන්දියානු කණ්ඩායමේ අනුපාතය 20 ට 1 ක් වෙයි. ඇෆ්ගනිස්තානය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජය ගැනීමේ ඔට්ටු අනුපාතය 500/1 සිට 200/1 දක්වා අඩුකොට ඇත. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනනවා කියා රුපියල් දාහක් ඔට්ටු අල්ලන අයකුට රුපියල් ලක්ෂ දෙකක් ඉබේම හිමිවනු ඇත.   ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට
 

More News..