brand logo

ශ්‍රී ලංකාවේ අස්ලම් කුවේට් ලීගයේ වීරයා වෙයි

24 September 2021

කුවේට් ලීගයේ ජය ඊගල්ස් කණ්ඩායමට

මොහොමඩ් අස්ලම්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ කුවේට් ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන කේ.සී. පන්දුවාර 20 සමර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කේ.බී.සී. කුවේට් ඊගල්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී ස්ටැක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඊගල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය. ඊගල්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැළුණු අස්ලම් පන්දු 32කදී නොදැවී ලකුණු 65ක් රැස් කළේය. එම ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය ස්ටැක් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 182ක් පමණි. පන්දු යැවීමේදී ඊගල්ස් කණ්ඩායමේ අස්ලම් සිය පන්දුවාර 4 තුළදී කඩුළු 2ක් බිඳ හෙලමින් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ලකුණු 21ක් පමණක් ලබාදීම විශේෂත්වයක් විය. එම තරගයේ වීරයා සම්මානය දිනා ගන්නට සමත් වූ අස්ලම්, ශ්‍රී ලාංකිකයෙකු වන අතර ඔහු මේ වනවිට කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වේ.
 

More News..