brand logo

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති සහ ඔහුගේ බිරිඳට වරෙන්තු ගන්නැයි නීතිපති උපදෙස්

03 February 2020

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී එහි ප්‍රධාන විධායක ලෙස රාජකාරී කළ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජයනායක මහත්මියගේ බැංකු ගිණුමට ඩොලර් මිලියන දෙකක් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයාට ලිඛිතව උපදෙස් ලබාදී තිබේ. මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තා කර තිබෙන පැමිණිල්ලේ සැකකරුවන් ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නම් කරන ලෙස ද නීතිපතිවරයා විසින් රහස් පොලිසිය වෙත නිකුත් කල උපදෙස් වල දක්වා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ Air Bus SAS සමාගම සමග A 330-900 ගුවන් යානා හතරක් සහ A 330-300 වර්ගයේ ගුවන් යානා 6 ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේ මැයි මස 16 වන දා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. එම වකවානුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කපිල චන්ද්‍රසේන මහතා කටයුතු කර ඇති අතර ඔහු 2015 වසරේ ජනවාරි මස තෙක් එම තනතුර දරා ඇති බව ද නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිඛිත උපදෙස් තුළ සඳහන් කර තිබේ. එම ගනුදෙනුවට අදාළව ප්‍රංශයේ එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන Biz Solutions සමාගම විසින්ම පවත්වාගෙන යන සිංගප්පූරුවේ තිබෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ 0107130602 අංක දරණ ගිණුමට 2013 වසරේ දෙසැම්බර් 27 වන දින ඒවා තිබෙන බව විමර්ශනවලින් හෙළි වී තිබේ. ඉන් අනතුරුව ‍ප්‍රියංකා විජේනායක නමැත්තිය විසින් එම මුදල් සිය සැමියා වන කපිල චන්ද්‍රසේන විසින් ඕස්ට්‍රේලියාවේ commonwealth bank හී පවත්වාගෙන යන 06323610119179 දරණ ගිනුමට මාරු කිරීම තුලින් මුදල්් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බව ද නීතිපතිවරයා විසින් පොලිසිය වෙත යොමුකර ලද ලිඛිත උපදෙස් වල සදහන් කර තිබේ. මෙම ක්‍රියාව තුළින් කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විමර්ශනවලදී සාධාරණ සැකයකින් තොරව සාක්ෂි අනාවරණය වී ඇති බැවින් ඔවුන් සැකකරුවන් වශයෙන් නම්කර අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා විසින්. වැඩබලන පොලිස්පතිවරයාට සහ රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නිකුත් කල උපදෙස් වල වැඩිදුරටත් සඳහන් කර තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..