brand logo

ශ්‍රී මහ බෝමළුවෙන් මතු වූ අරුම පුදුම ප්‍රාර්ථනා ගස

10 December 2018

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අසම සම වෘක්ෂයක් තිබේ. ඒ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේය. ඉන්පසුව එම බෝධි පරම්පරාවෙන් එන අෂ්ට ඵල, දෙතිස් ඵල, ආදී වශයෙන් සැලකෙන බෝධීන් වහන්සේලාත් මෙරට බෞද්ධයන්ගේ ගෞරවාදරයට හිමිකම් කියති. එහෙත් බෝධි වංශය ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන් මගින් පැවසෙන එම බෝධි වෘක්ෂයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අද වන විට සැඟව පවතී. ඒ හැරුණුකොට කළුතර, ගැටඹේ, මාතර ආදී මාර්ගාශ්‍රිත බෝධීන් ඇතුළු විවිධ විහාරාරාම ආශ්‍රිත තවත් බෝධීන් කිහිපයක් විශේෂ අානුභාව සහිත බෝධීන් වශයෙන් මෙරට සාමාන්‍ය ජනතාව හඳුනාගෙන සිටිති. එහෙත් අප මේ කීමට යන්නේ ඒ පුරාතන හෝ ‘‘නූතන බෝධි වංශය’’ පිළිබඳ නොවේ. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේ බටහිර දොරටුව සමීපයේ වැලි මළුවේ පිහිටි බෝධියක් නොවන වෙනත් හාස්කම් වෘක්ෂයක් පිළිබඳවය. මේ වන විට එය ප්‍රකටව ඇත්තේ ප්‍රාර්ථනා ගස’ යනුවෙනි. දැනට සමාජයේ ශීඝ්‍රයෙන් පැතිර යන විශ්වාසයකට අනුව මෙය සඳුන් ගසකි. කිසියම් කෙනකු පැමිණ මෙහි කඳට අත තබා ගත් වනම යම් ප්‍රාර්ථනාවක් කළහොත් ඒකාන්ත වශයෙන්ම එය සඵල වෙයි. එසේ අත තබාගෙන නොසිට එම කඳ ස්පර්ශ කරමින් යම් පැතුමක් සිත දැරුවහොත් එය පළ දැරීම වඩාත් ප්‍රබල වන බවද පැවසෙයි. එමෙන්ම එසේ ඒ සඳුන් කඳ තදින් ස්පර්ශ කොට ඒ උණුසුමින් සිය මුහුණු තබා ගන්නා පිරිස් ද සිටිති. මේ වෘක්ෂය පිළිබඳ තවත් සමහරුන් විශ්වාස කරනුයේ මෙහි කඳ මතට හිස තබා ගත් වනම යම් පැතුමක් කළහොත් එය කල් නොයවා ම සඵල වන බවකි. ඒ අනුව මතු දිනයෙක අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය සමීපයට යන ඔබට අප බෞද්ධයන්ගේ ඒ සියලු ක්‍රියාකාරකම් මනාව දැකබලාගත හැක. තවද එසේ මෙම වෘක්ෂය හමුවේ විවිධ ප්‍රාර්ථනාවන් සිදු කරන සමහරකු එහි කඳෙහි ඇති පැලුම් අතරේ රුපියලේ, දෙකේ කාසි ද රඳවති. ඒ අනුව තමන්ගේ සිත රැඳි ප්‍රබල පැතුමක් රුපියලකට, දෙකකට ඉටුකරගත හැකි බවට නූතන සමාජය විශ්වාස කරන ශ්‍රී ලංකාවේ එකම ස්ථානයද මෙය විය යුතුය. පසුගිය දින කිහිපයක් තුළ වරින්වර මෙම වෘක්ෂය හා සම්බන්ධ පුද පිළිවෙත් සියුම් ලෙස නිරීක්ෂණය කළ අපට හොඳින් පැහැදිලි වූ එක් කරුණක් තිබිණ. එනම් එලෙස මෙම ප්‍රාර්ථනා ගස අබියසට පැමිණ පුද පිළිවෙත් කරන්නවුන්ගෙන් වැඩිම පිරිස වයස අවුරුදු පහළොවත්, තිහත් අතර තරුණ තරුණියන් බවය. නමුදු බලහත්කාරයෙන් මෙන් තම කුඩා දරුවන්ගේ අත් සහ හිස් මෙම වෘක්ෂයට හේත්තු කරවන තරුණ මාපියවරුන් සේම බැරි බැරි ගාතේ පැමිණ මෙම රුක් කඳ අත්වාරුවට ගෙන මොන මොනවාදෝ මුමුණන වියපත් උවැසියන් විශාල පිරිසක් ද මෙහි දී අපට නිරීක්ෂණය විය. එහෙත් මෙම ‘ප්‍රාර්ථනා ගස’ හා බුදු සසුන, ශ්‍රී මහා බෝධිය හෝ ලක් ඉතිහාසය අතර පවත්නා සබැඳියාව කුමක්ද? අප මේ පිළිබඳ විමසා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතාගෙනි. ‘‘පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ශාසනික වශයෙන් වැදගත් වෘක්ෂයක් අනුරාධපුරයට තියෙනවා නම් ඒ ශ්‍රී මහා බෝධිය විතරයි.’’ හෙතෙම කීය. එතකොට ඔය ශ්‍රී මහා බෝධි වැලි මළුවේ තියෙන ප්‍රාර්ථනා ගහ වශයෙන් දවසකට දහස් ගණනකගේ ස්පර්ශය ලබන සඳුන් ගහ? එවිට මම ද ඇසීමි. ‘‘අපිට ඕනේ ගහකට ඕනේ නමක් දාගන්න පුළුවන්නේ. එක ගහකට ප්‍රාර්ථනා ගහ කියන්න පුළුවන්, ඕනේ නම් තවත් ගහකට විරහ වේදනා ගහ කියන්නත් පුළුවන්. ඕවා ඔය ඊයේ පෙරේදා මිනිස්සු අතර පැතිරුණු මනස්ගාත. කොටින්ම ඕක සඳුන් ගහකුත් නෙවෙයි, දුම්මල ගහක්; වැඩිම වුණොත් අවුරුදු සීයක් හමාරක් වයස ඇති. කොහොම හරි ඕක වටේ මිනිස්සු රොක්වෙන්න පටන් අරන් නම් අවුරුදු විස්සකට වඩා නැහැ. අනූවේ දශකයේ මුල් හරියේ මම අනුරාධපුරේ ව්‍යාපාතිවලට සම්බන්ධ වෙනකොට ඕක නිකම් ගහක් විතරයි. කොහොම හරි දැන් නම් ඔන්න ඒක වටේට වැට ඉනි ගහලා, මහාචාර්ය කුලතුංග වැඩි දුරටත් කීය. මහාචාර්යවරයා පවසන අන්දමට එය දුම්මල ගසක් නම් එය දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් Fabaceae කුලයට අයත් Myroxylon balsamum යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ශාකයකි. ශ්‍රී ලංකාවේ නිවර්තන තෙත් කලාපයේ දැකිය හැකි මෙය සිංහලයෙන් ‘‘දුම්මල’’ හෝ කට්ටකුමන්ජල් ගස් කියා හඳුන්වනු ලැබේ. ඒ එහි පොත්තෙන් ශ්‍රාවය වන කිරි හෝ ලාටුවලින් දුම්මල, කට්ටකුමන්ජල් ආදී සුවඳ ධූප නිපදවෙන බැවිනි. එනිසාම මෙම වෘක්ෂයේ කඳ ස්පර්ශ කොට අත්ල සිප ගැනීමෙන් නාසයට යම් ‘ආගමික සුවඳක්’ දැනෙනු ඇත. එය විශේෂ හාස්කමක් හෝ ආනුභාවයක් ලෙස යමකුට හැඟී යාමට එම සුවඳ ද හේතුවනු නියතය. ‘‘ඕක දැන් ටික කාලෙක ඉඳලා හුඟ දෙනෙක් කරන විකාර වැඩක්, ඒක හරියට වදපු අම්මව පැත්තකට කරලා අම්මේ, අම්මේ කිය කියා පාරේ යන ගෑනු මනුස්සයකුගේ පස්සෙන් යනවාටත් වඩා මෝඩකමක්.’’ මේ පිළිබඳ කළ විමසුමක දී අපට එසේ කියා සිටියේ ශ්‍රී මහා බෝධි ආරක්ෂක පරපුරකින් පැවතෙන බව කියන එච්. ජී. ගුණවර්ධන කපු මහතාය. ඔහු ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව බැතිමතුන් උදෙසා දේව කන්නලව්වල යෙදෙන්නෙකි. ‘‘අතීතයේ ඉඳලම අපේ මිනිස්සු ජය ශ්‍රී හාමුදුරුවන් ළඟට ඇවිත් මෙලොව පරලොව දියුණුව පැතුවා, ඒවා ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වුණා. ඒත් දැන් ඔය වැලිමළුවේ තියන දුම්මල ගහක් බදාගෙන කරන විකාරේ ජයශ්‍රී හාමුදුරුවන්ට කරන නින්දාවක්, අපහාසයක්’ හෙතෙම කීයේ කිසියම් සංවේගයකින් මෙනි. ‘‘මේ අධි පරිභෝජනවාදී සමාජය තුළ මිනිසුන්ගේ තෘෂ්ණාවයි, ආසාවයි. ඒ වගේම අසරණකම පුදුම විදිහට ඉහළ නැංවිලා තියනවා; ඒ වගේම ඒ අාශාවන් අසරණකම් මුල් කරගත්තු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පහසු, කෙටි ක්‍රම සොයමින් දඟලන එක අද සාමාන්‍ය සමාජ ලක්ෂණයක්. මේ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමින් එසේ කීයේ පේරාදෙණි විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතාය. ‘‘අපිට ජීවත් වීමට වතුර අවශ්‍යයි. නමුත් අපි බොන වතුරවල යම් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙනවා. නමුත් පිපාසය දැඩිවෙලා අපිව විජලනයෙන් මැරෙන්න ගියොත් අපි ප්‍රමිතිගත වතුර හම්බුවෙන කම් ඉන්නවද? නෑ... පාර අයිනේ තියෙන කුණු කානුවකින් හරි වතුර බීලා ජීවිතේ රැක ගන්න තමයි බලන්නේ, ඔය වෘක්ෂ වන්දනාවත් මම දකින්නේ ඒ වගේ වැඩක් හැටියට’’ අප රටේ බොහෝ පිරිස් පැමිණ එම ප්‍රාර්ථනා ගසේ හිස තබාගෙන හිඳිනු දුටු යුරෝපීය සංචාරක පිරිසක් එකී, එම සිදුවීම් ඡායාරූපගත කරමින් හා එකිනෙකාට කුටු කටු ගාමින් එදෙස විස්මයෙන් බලා සිටිනු අපට පෙනිණ. තමන්ගේ රටවල මෙවැනි ගස්වල මෙලෙස හිස අතුල්ලනුයේ ගව මහීෂාදීන් බවත්, උන්ගේ එම කාරිය ශ්‍රී ලාංකීය බෞද්ධයන් විසින් එපරිද්දෙන්ම යස අපූරුවට සිදු කරන බවත්, ඔවුන් රහසින් කතා නොවුණා නම් ලෝක පුදුමයකැයි මට සිතෙයි.
 

More News..