brand logo

ශ්‍රීලනිප - ශ්‍රීලපොපෙ එකට මහ ඡන්දයට

15 February 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් දෙපාර්ශ්වය සන්ධාන ගත වී තරග කිරීමට අදාළ කටයුතු මේ දිනවල සූදානම් කරන බව සඳහන් වේ. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමේ කිසිදු ගැටලුවක් මතුව නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දීගෙ හොඳට යනකොට දෑවැදි ප්‍රශ්න නිසා දිගේ නොකැඩෙන බව රාජපක්ෂ මහතා පැවසීය.

මඟුල් ගෙදරක් තිබුණහම එක්කෙනෙක් දෙන්නෙක් කියනවා අපිට හොඳට කතා කළේ නෑ. කෑම රහනෑ. සැලකුවේ නැහැ කියලා කියනවා. හැබැයි මේ ජෝඩුව හොඳට ගමන යනවා නම් මඟුල කැඩෙන්නේ නැහැනේ. ඒවාගේ  ශ්‍රී ලංකාපොහොට්ටු දීගේ කැඩෙන්නේ නෑ යැයි බැසිල් රාජපක්ෂ පැවසීය.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවලදී කුරුණෑගල හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ අභියෝගයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී මනාප අරබයා අපේක්ෂකයන් අතර මතවාදී ගැටුමක් ආරම්භ වී ඇති බව සඳහන් වේ. හිටපු ජනාධිපතිවරයාට වැඩි මනාප හෝ අඩු මනාප ප්‍රමාණයක් ලැබුණහොත් අත්වන අභියෝගය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ආතර සාකච්ඡා මතුව ඇත.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දැඩි ගැටුමකට මුහුණ පා ඇත්තේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් විශාල පිරිසක් සිටින නිසාවෙනි. ආසන 14කින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් 17 දෙනකු ඉදිරිපත් කළ හැකිය. මේ වනව විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් අට දෙනකු සිටින අතර අලුත් අපේක්ෂකයන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන සෙසු පක්ෂවල අපේක්ෂකයන්ද සිටින නිසා ලැයිස්තුව සකස් කර ගැනීමේ ගැටලු ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න

 

More News..