brand logo

ශ්‍රීලනිප පොහොට්ටු නොකෙරෙන දීගයක්

16 March 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නව සංධානයක් ගොඩ නැගීමට දරන උත්සාහයට පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන, පළාත් පාලන නියෝජිතයන් සහ පාක්ෂිකයින් එහි නායකයින්ට දැඩි විරෝධයක් දක්වන බව වාර්තා වේ. ඊට හේතුව ප්‍රධාන අවස්ථා හතරකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය කඩ කර තිබියදී යළිත් එම උගුලේම වැටීමට යාමයි. මේ සම්බනධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයකුගෙන් කළ විමසුමකදී කියා සිටියේ එවැනි විරෝධය එළිපිටම එල්ල වී ඇති බව සත්‍යයක් බවයි. 2015 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයට දින දෙකක් තිබියදී පැවසීමත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විශ්වාසභංගයේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරී‍මත් අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර එක රැයෙන් එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරී‍මෙන් පසු ජනාධිපති බලතල යටතේ ඔහු එම තනතුරේ තබා ගැනීමට හැකියාව තිබියදී යළි රනිල් පත් කිරීමත්, අයවැය දෙවන වර ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසාන මොහොතේ හැසිරීමත් යන කරුණු කාරණා දෙස බැලීමේදී යළිත් මුළාවක වැටීමේ අවදානමක් පවතින බැවින් පාක්ෂිකයින්ගෙන් හා මහජන නියෝජිතයින්ගෙන් විරෝධය එල්ල වී ඇති බව එම ප්‍රධානියා සඳහන් කළේය. දැනට කෙරෙන සාකච්ඡා සාධනීය මට්ටමින් නොමැති තත්ත්වයක් මත සමගිවී සිටින බව පෙන්වා අවසන් මොහොතේ වෙන් වීමෙන් වන අවාසිය වැඩි බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයටත් අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබා ගැනීම බැවින් ඒ සඳහා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් හා මහජන නියෝජිතයින්ගෙන් ඊට දැඩි විරෝධාතාවක් දැනටමත් එල්ල වී තිබේ. පසුගිය 14 වැනි දින මුල් වතාවට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී කිසිදු තීරණයකට එළඹීමට නොහෙකි වූ අතර යළිත් මෙම 22 වැනි දින දෙවන අදියරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් නිදහස් පක්ෂ පොදුජන පෙරමුණේ සන්ධානගත වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බවද වාර්තා වේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මගහැර ගිය අතර එම පක්ෂයේ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රියානි විජේවික්‍රම, නිශාන්ත මුතුහෙට්ටිගම ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය. චමින්ද සේනාරත්න
 

More News..