brand logo

ශ්‍රීලනිප නායකත්වයට චන්ද්‍රිකා පත් කිරීමට සැලසුමක්

16 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යළි පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සූදානම් වන බව වාර්තා වේ. සංවිධානයේ රැස්වීම් කිහිපයක් පසුගියදා අමාත්‍ය මංගල සමරවීරගේ නිල නිවසේ පැවැති අතර එහිදී යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් විසින් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමට එකඟවී ඇත. ඒ පිළිබඳ තීන්දු තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ හෙට (17 වැනිදා) පෙ.ව. 10.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 100කට අධික සංඛ්‍යාවක් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට එක් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රජික කොඩිතුවක්කු ප්‍රකාශ කරයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත පෙරේදා (14 වැනිදා) ලිපියක් යොමුකර තිබේ. එමගින් ඇය මෙම සන්ධානගතවීම දැඩි ලෙස විවේචනයට ලක්කර ඇත. මේ අතර ලන්ඩනයට ගොස් සිටි හිටපු ජනාධිපතිනිය යළි දිවයිනට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සහයෝගය සජිත් ප්‍රේමදාසට ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
 

More News..