brand logo

ශ්‍රීලනිප තීරණාත්මක තීන්දුව අද

30 September 2019

මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු සලකුණක් යටතේ ඉදිරිපත් වීමට අවධානය යොමු කර තිබේ. එහෙත් ජනාධිපතිවරණයේදී මෙම ලකුණ පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුවත් අද (30 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා සමග පැවැති තීරණාත්මක සාකච්ඡාවට සහභාගි වී ඇත. සෙනසුරාදා (28 වැනිදා) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී දෙපාර්ශ්වය කරුණු ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරණයට ‘පොහොට්ටුව’ සලකුණින් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් යෝජනා කර ඇත. විපක්ෂ  නායක මහින්ද රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා ලකුණ වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි. ඒ අනුව මහ මැතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී ජනාධිපතිවරයා තම පාර්ශ්වයෙන් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අද (30 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි. මෙම සාකච්ඡාවට පෙර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන් අතර සාකච්ඡාවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. එම සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, තිස්ස විතාරණ,  ඩිව් ගුණසේකර යන පක්ෂ නායකයෝ එක්ව සිටියහ. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ලකුණ පිළිබඳ ගැටලුව එහිදීද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරණය සඳහා එය ගැටලුවක් නොකර ගන්නා ලෙස පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්ද සිකුරාදා (27 වැනිදා) රාත්‍රියේ පවත්වා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ. පැය තුනහමාරකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට එකඟ බව මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත. පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම කෙරෙහි ගැටලුවක් ඇති බව ඔවුන් අවධාරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර වෙත ලිපියක් යොමුකර ඇත. එම ලිපියද අද (30 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වී ජනාධිපතිවරණයට සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි. එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ මන්ත්‍රීවරයා අතර වචන හුවමාරුවක්ද සිදුව ඇති බව වාර්තා වෙයි.
 

More News..