brand logo

ශ්‍රීලනිප ඉදිරියේදී පොහොට්ටුවට එකතුවෙනවා නම් වෙන්නේ ගෞරවාන්විතව පමණයි

13 August 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ඉදිරියේදී එකතු වනවා නම් එකතු වන්නේ ගෞරවාන්විතව පමණයි. එහෙම නැතිව පක්ෂය කඩලා,පාගලා දාන අයත් එක්ක එකතු වෙන්න කිසිම අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමින් මහා ලේකම්වරයා මේ බව කියා සිටියේය. මාරවිල - හත්තිනියේ පිහිටි උත්සව ශාලාවකදී පැවති දිස්ත්‍රික් සම්මේලනයේදී වැඩිදුරටත් කථා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය. මට අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඇත්තේ විශාල කළ කිරීමක්. ඒකට හේතුව ප්‍රධාන පක්ෂ දෙක තුළම අද නායකයින් නොමැති වීමයි.අද එකම පක්ෂයකවත් නායකයෝ නැහැ.නායකයෝ හයර් කරන්න වෙලා තියෙන්නේ. 1994 අවුරුද්දේ ඉදලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙකුට නැගිටින්න දෙනේනේ නැහැ.ඒ පක්ෂයේ නායකයෝ පක්ෂය තුළින්ම වද බැස්සෙව්වා.ඒ නිසා කාත් කව්රුවත් නැතිව ගිහිං.අද නැතිකමට සජිත් ප්‍රේමදාස මහත්තයාව ගේන්න උත්සාහ කරනවා. ජේ.ආර්.ජයවර්ධන මහත්තයා යටතේ නායකයෝ ගනනාවක් හිටියා.එතුමන් නායකයෝ හැදුවා.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ හිටපු නායකයෝ පක්ෂය දාලා ගියා.පක්ෂය තුළින් කිසිම කෙනෙකුට නැගිටින්න දුන්නේ නෑ.හැමදාම කළේ පිටින් හයර් එකට ගෙනවිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු එකයි.2010 අවුරුද්දේ සරත් ෆෝන්සේකා මහත්තයාව හයර් කලා.2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව හයර් කලා.ඒ පක්ෂය කළේ නායකයෝ හැදුවේ නැහැ.නායකයින්ව වළ දාපු එකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කළේ.ඇත්තටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්ෂ මහත්තයාට නායකත්වය දුන්නා.එතුමිය වර්තමානයේ මොන ප්‍රකාශ දැන් කළත් අපි ඇයට ගරු කළ යුතුයි.නමුත් 2005 න් පස්සේ 2015 වෙන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම නායකයෙකුවත් හැදුවේ නැහැ.මේවා කිව්වහම අපිට අනිත් පැත්තට බනියි.නමුත් ඇත්ත කථාව ඒකයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයෝ හැදුවද?ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සිද්ධ වුනේ කඩාගෙන අනිත් පැත්තට යන්න. අද පොදු ජන පෙරමුණ පක්ෂයටත් සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලනය නොකරපු වෙනත් නායකයෙක් ගේන්න.අද වෙලා තියන තත්ත්වය හරිද වැරදිද කියලා ඔබම කියන්න.මේවා කිව්වහම කියයි දයාසිරිලා ආවඩන්නේ නැතිව එකතු වීම කන්න යනවා කියලා.එකතු වීම කන්න නෙමෙයි හදන්නේ මේ දේශපාලන යථාර්ථය තේරුම් කරලා දෙන එකයි කරන්නේ.මොකද මේ ටික තේරුම් ගන්නේ නැතිව අපේ රටේ දේශපාලනය කරලා වැඩක් නැහැ. ආසනය ඇතුළේ තමන් නායකයෝ හදන්නේ නැත්නම්.ඉන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිව ගහලා එළවනවා නම්.ආසනය ඇතුලේ මිනිස්සු හදන්නේ නැත්නම් පක්ෂය හදන්නේ කොහොමද?.මෙන්න මේක තමයි මේ පක්ෂ දෙකටම වුනේ.ඒ නිසා පක්ෂ දෙකම අනාථ වෙලා වෙන වෙන නායකයෝ හොයා ගෙන යන්න වෙලා තියනවා දැන්. අපි හිතපු නැති රණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අද පටන් අරගෙන තියනවා.ජනාධිපතිවරණයට මාස දෙකක් තුනක් තියන කොට සජිත් මහත්තයා එක පැත්තක්.කරූ ජයසූරිය මහත්තයා එක පැත්තක්.රනිල් මහත්තයා තවත් පැත්තක.ඒ කට්ටිය ඔක්කොම දැන් ගහ ගන්නවා.පොදු ජන පෙරමුණ පක්ෂය මහින්ද රජපක්ෂ මහත්තයා නම් කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ.මේ පක්ෂ වල පරිනත දේශපාලන නායකයෝ ඉන්වා.ඒ හැම කෙනෙතුටම සිද්ධ වෙලා තියනවා මහින්ද මහත්තයා නම් කරන කෙනා එක්ක වැඩ කරන්න.අපිට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වාගේ බලවේගයක් නෙමෙයි.අපිට තිබුණු බලවේගය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ විධියට දෙකට කැඩිලා තියෙන්නේ.මේ පක්ෂය දෙකට කඩලා වෙනත් පක්ෂ හැදුවා.ඒ නිසා අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇද වැටිලා නෙමෙයි ඇද වට්ටලා තියනවා.මේ වාගේම දෙයක් තමයි ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයටත් සිද්ධ වුනේ.රාජඅලියා පක්ෂය හදලා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුවා. නායකයෝ නැති වුනාට පස්සේ ඒ පක්ෂයටත් වෙච්ච දෙයක් නැතිව ගියා.විජය කුමාරතුං මහත්තයා චන්ද්‍රිකා මැතිණියත් එක්ක පක්ෂය කැඩුවා.ඒ අය හැදුවා මහජන පක්ෂය.නයකයෝ නැති වුනාට පස්සේ මහජන පක්ෂයත් ඉවරයි.ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු වුනා. අපිට පොඩි කාලයක් දුක් විදින්න වෙයි ශ්‍රී ලංකා කාරයෝ විධියට.අවුරුදු 05 ක් ඕන නම් විපක්ෂයට වෙලා ඉමු.තවත් අවුරුදු 05 කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පළමු වන පක්සය බවට පත් කරන බව කියන්න කැමතියි.ඒක කරන්න පුළුවන්. දේශපාලන ක්‍රමය ගැන අපිට තියෙන්නේ විශාල කනගාටුවක්.තමන්ගේ පුද්ගල බඩගෝස්තරවාදයට,ඊළග මහා මැතිවණය දිනන්නේ කොහොමද කියලා හිතලා පක්ෂය පාවලා දුන්න අය තමයි දැන් ඉන්නේ. පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වන්නේ ගෞරවයක් ඇතිව පමණයි.එහෙම නැතිව පක්ෂය පාගලා දාලා විනාශ කරන අයත් එක්ක එකතු වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැති බව වේදනාවෙන් කියන්න කැමතියි. ඕනම කෙනෙතුට බලපුවාහ පේනවා අපි අතර ප්‍රශ්ණ,ගැටළු නැත්නම්,අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් අපි දිණුම්.අපිට ඕන ජාතික නායකයෙක්. අපිට පොදු අපේක්ෂකයෙක් ඕනේ නැහැ.ජාතික නායකයාට තිබිය යුතුයි රට හදන ඉදිරි අවුරුදු 50 ක වැඩ පිළිවෙලක්.අන්න ඒ වැඩ පිළිවෙලට අපි එකග වෙමු.ඊට පස්සේ අපිට පුළුවන් වැඩ කරන හැටි තීරණය කරන්න.එහෙම කරන්නේ නැතිව අවුරුදු 05 ට 10 ට ආණ්ඩු හදාගෙන කරන්නේ මොකක්ද?මේ වෙන කොට දේශපාලඥයෝ අවුරුදු 70 ක් රට කාලා විනාශ කරලයි තියෙන්නේ.අපිත් ඒකේ කොටස් කාරයෝ වෙලා ඉවරයි. ජනතාව අපිටත් අද බනිනවා.ඒ නිසා ඉදිරි ජයග්‍රහණය ගන්න නම් මෛත්‍රීපාල මහත්තයා සහ මහින්ද මහත්තයා එකට එකතු වෙන්න ඕනේ.ඒ දෙන්න කථා කරලා තීරණයක් ගන්න ඕනේ මේ ගමන කොහොමද යන්නේ කියලා.එහෙම නැතිව මේ වටේ ඉන්න එක එක හාදයෝ එක්ක කථා කරලා වැඩක් නැහැ. මොකද ඒ අය කල්පනා කරන්නේ තමුන් කොහොමද ඊළග වතාවේ පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියන එක විතරයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ඒකක කීපයක් සදහා සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කිරීමද මෙහිදී සිදු විය. ජුඩ් සමන්ත
 

More News..