brand logo

ශ්‍රීලනිපය අල්ලන්න චන්ද්‍රිකා සැරසෙයි

21 November 2022

ශ්‍රී ලංකාවේ හැත්තෑ හත් වන අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළේ පසුගිය සඳුදාය. මේ වන විට ඔහු මුදල් අමාත්‍යාංශය තමා වෙත පවරාගෙන සිටින්නේය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර හතළිස් හතක් ගත වුවද මුදල් ඇමැති ලෙස පත්වූයේ ජනපති වූ පසුවය. එම නිසා මෙවර අයවැය ඔහුගේ පළමු අයවැය වූයේය. ඉරිදා පස්වරුව වන විට ජනාධිපතිවරයාට අයවැය ලේඛණය ලැබී තිබුණි. එදින රාත්‍රියේ පැජට් පාරේ පිහිටි නිවසට මුදල් රාජ්‍ය ඇමැතිවරුන්, ජනාධිපති හා මුදල් ලේකම්වරු කැඳවා යළි සමාලෝචනයක් කළ ජනාධිපතිවරයා කියා සිටියේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාට පවරන බවයි.

ලේකම්ලාට රතු එළි

අයවැය ලේඛනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ සඳුදා උදෑසනය. අයවැය ලේඛනය සම්මත කිරීමෙන් පසු ඇමැතිවරු පෙන්වා දුන්නේ ඇතැම් නිලධාරීන්ගෙන් සහයෝගයක් නොලැබෙන බවයි. එය ජනාධිපතිවරයාද අනුමත කළේය. ‘‘මම ජනවාරියේ ලේකම්වරු මාරු කරන්න ඉන්නේ. වැඩවලට සහයෝගය නොදෙන අයගේ නම් ජනපති ලේකම්තුමාට දෙන්න’’ තරහගිය ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඇමැතිවරුද සතුටු කරවමිනි. ඇමැති මණ්ඩල හමුවෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව බලා පිටත් වූයේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඔහු පිළිගත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන සමග ප්‍රසන්න රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුය.

රනිල්ගේ පෙරමුණේ රාල

පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට ජනාධිපතිවරයා පැමිණීමෙන් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු රැසක් පැමිණියහ. එහිදීද ජනාධිපතිවරයා යළි අයවැය ලේඛනය පරීක්ෂා කළේය. ජනාධිපතිවරයාට අවශ්‍ය පෑන, පැන්සල හා කොළ කැබලි දුන්නේ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන විට වෙනදාට පෙරමුණේ ගමන් කරන්නේ ඔහුගේ පාසල් මිතුරා වූ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාය. එනමුත් අයවැය ඉදිරිපත් කළ දිනයේ රාජ්‍ය ඇමැති චාමර රනිල්ගේ පෙරමුණේ රාල විය. මෙලෙස පැමිණෙන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මග රැක ජනාධිපතිවරයා හමු වූහ. ‘‘සර් රාජ්‍ය සේවක පඩි වැඩි වෙනවද’’ ඔවුන්ගේ ප්‍රශ්නය වූහ. ‘‘නැහැ 2023 නැහැ. 2024 දිවත් බලමු‘’ ජනාධිපතිවරයා කීවේය.

බුද්ධික - මුජිබර් නැගිට යති

පරිණත නායකයකු ලෙස ජනාධිපතිවරයා පැය එක හමාරක වැනි කාලයකින් අයවැය ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා අයවැය කියවන විට බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා ළඟට ගොස් සිට ගෙන සිටියේය. සාමාන්‍යයෙන් අයවැය කියවනවිට පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටගෙන සිටින්නේ මුදල් ඇමැතිවරයා පමණි. එහෙත් මොවුන් දෙදෙනා කතා බහ කරමින් සිට හිමින් සීරුවේ සභා ගර්භයෙන් පිටව ගියහ. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව බලාය. ලන්ඩන් නීති උපාධිලාභීන් දෙදෙනෙකු වන මෙම මන්ත්‍රිවරු දෙදෙනා මෙලෙස පිටව ගොස් ඇත්තේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහාය. අයවැයෙන් පසු මන්ත්‍රිවරුන්ට දෙන තේ පැන් සංග්‍රහය කොළඹ තරු පහේ​ හෝටලයකදී දීමට මීට පෙර තීන්දු කර තිබුණි. එහෙත් පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කළේ වියදම් අධික නිසාය. තේ පැන් සංග්‍රහයට ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු තිදෙනා පමණක් සහභාගි වූයේ නැත.

ත්‍රෛලෝක ඩයනා පත්‍ර

තේපැන් සංග්‍රහයේදී වඩාත් ජනප්‍රිය චරිතය වූයේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේය. ‘‘ඔන්න ඔයාගේ යෝජනාව අයවැයෙන් ආවා’’ ජනාධිපතිවරයා කීවේය. ‘‘මේක ඩයනාගේ විජයග්‍රහණයක්’’ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සුබ පතමින් කීවේය. ‘‘මොනවා වුණත් ත්‍රෛලෝක විජයපත්‍ර අද ඉඳලා ත්‍රෛලෝක ඩයනා පත්‍ර’’ වෙනවා. මන්ත්‍රිවරු උසුළු විසුළු කළද රාජ්‍ය ඇමැතිවරිය සෑම විටම ප්‍රකාශ කළේ ගංජාවල ගුණ අගුණ හා විදේශ විනිමය ගැනීම පිළිබඳවය. ජනාධිපතිවරයා හමුවට වැඩි වශයෙන් පැමිණියේ විපක්ෂයේ මන්ත්‍රිවරුය. සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු ඒ අතර බහුතරය වූහ. ‘‘පරණ අය හම්බවෙලා. අපි ඒ අයට ඉඩ දෙමු’’ පරණ ගෝලයොනේ’’ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම කීවේය.

යූඇන්පී අයවැය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා හමුවට පැමිණ ‘‘ඉදිරි කටයුතු ගැන කතා කරන්න රංජිත් එයි’’ යනුවෙන් ප්‍රකාශ කළේය. ‘‘ඒක හොඳයි’’ ජනාධිපතිවරයාද අනුමත කළේය. මෙම ස්ථානයට හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක, එම්. සුමන්තිරන් වැනි විපක්ෂයේ මන්ත්‍රිවරුද එක්වූහ. ‘‘යූ.එන්.පී. අයවැයක් ඉදිරිපත් කළාම අපි කොහොමද විරුද්ධ වෙන්නෙ’’ හර්ෂ හා ඉරාන් සිනා සෙමින් කීහ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියේද විපක්ෂයේ මන්ත්‍රිවරු සමගය.

උදය ආණ්ඩුවේද

අයවැය ඉදිරිපත් කළ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල හමුවුණේ ලොබියේදීය. ‘‘හා කොහොමද ජනාධිපතිතුමා. මම ඔබතුමා එක්ක කතා කර කර ඉන්න එක මීඩියාවල යයිද දන්නෙ නැහැ. කැමරා අටව ගෙන ඉන්නේ. මීඩියාවල යන්නේ මම ආණ්ඩුවට ආවා කියලනේ.’’ මන්ත්‍රිවරයා කීවේය. ‘‘හා ඔයා ආණ්ඩුවේ නෙවෙයිද. මම හිතා ගෙන හිටියේ ඔයා ආණ්ඩුවේ කියලයි’’ හිටපු ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේය. අයවැය විවාදයට එක්වීම සඳහා ජනාධිපතිවරයා බදාදා දින පාර්ලිමේන්තුවට පැමිණෙන විට අදහස් දක්වමින් සිටියේ සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයායි. මන්ත්‍රිවරයාගේ කතාව අවසන් වූ විට ජනාධිපතිවරයා ඔහු ළඟට පැමිණ ‘‘හොඳ කතාවක් ප්‍රසන්න ඇමැතිතුමා හොඳ බැට්මන්ලා දාලා තියෙනවා’’ ජනාධිපතිවරයා කීවේය. එම ස්ථානයට ප්‍රසන්න රණතුංග සුරේන් රාගවන්, සාගර කාරියවසම් හා මධුර විතානගේ යන මැති ඇමැතිවරුන්ද එක්වූහ. ‘‘අලුත් පරම්පරාව තමයි ආර්ථිකය ගැනකතා කරන්න ඕනි. නැතිනම් ඊළඟ පරම්පරාවත් අමාරුවේ වැටෙනවා’‘ ජනාධිපතිවරයා කීවේය.

මධුරගේ පාටියට රනිල්ට ඇරයුම්

මධුර විතානගේ මන්ත්‍රිවරයා නීති විද්‍යාලයේ සිය කණ්ඩායමේ ප්‍රිය සම්භාෂණයට පැමිණෙන ලෙසද ජනාධිපතිවරයාට ආරාධනා කළේය. ‘‘හරි මම එන්නම්’‘ කියූ ජනාධිපතිවරයා තමන් නීති පීඨයේ අධ්‍යාපනය ලබන විට වූ සිද්ධීන්ද සිහිපත් කිරීමට අමතක කළේ නැත. අයවැය ඉදිරපත් කළ සඳුදා දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට​ එක්වූහ. මැයි නවවන දින ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරලගේ පවුලේ සාමාජිකයන්ට මෙහිදී මූල්‍ය පරිත්‍යාගයක් කෙරුණි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු එකසිය අසූ තුන් දෙනෙකු මුදල් දී තිබුණි. එකතු වූ මුදල රුපියල් අනූ ලක්ෂයකි. ‘‘මේ වැඩේ කළේ මාදිවෙල මිතුරෝ සංවිධානයෙන්’’ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කීවේය. අතුකෝරල මන්ත්‍රිවරයාගේ බිරිඳ එම මුදල ගත්තේ හැඬූ කඳුලිණි. මන්ත්‍රිවරුන්ට විමධ්‍යගත අරමුදල දෙන ලෙස ජගත් කුමාර මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය. වාර්ෂිකව එක් මන්ත්‍රිවරයකුට හිමි වන මුදල රුපියල් ලක්ෂ සියයකි. එහෙත් ජනාධිපතිවරයාගෙන් ලැබුණේ වෙනත් පිළිතුරකි. ‘‘සල්ලි නැහැ කියලා ගමට නොයන්න එපා මිනිස්සු බැන්නට කමක් නැහැ. ගමට යන්න’’ පිළිතුර විය. අපනයනකරුවන් නිසි පරිදි අපනයන ආදායම පෙන්වන්නෙ නැහැ. වංචා කරනවා. මුදල් අමාත්‍යාංශය පම්පෝරි ගහනවා විතරයි. මේකට කරන්න තියෙන්නෙ විනිමය පනත සංශෝධනය කිරීමයි’’ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා හා මධුර විතානගේ මන්ත්‍රිවරයා පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කරන​ ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. අයවැය ගැනද මෙහිදී කතා කළ අතර ‘‘මේක ඩයනගේ අයවැයක්. අපි බලමු ඩයනාගේ ක්‍රමයට ගොඩ යන්න. ලංකා ඉතිහාසයේ කාන්තාවක් වෙනුවෙන් ඉදිරිපත් වූ එකම අයවැය මේක’’ ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේය. මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් ගත් මන්ත්‍රි කණ්ඩායම සමගිනි. එහි පළමු සාකච්ඡාව මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේදී පැවැත්වුණේ ඇමැතිධුර බලා​පොරොත්තුව සිටින දුමින්ද දිසානායකගේද සහභාගිත්වයෙනි. එම සාකච්ඡාවට ශාන්ත බණ්ඩාර මන්ත්‍රිවරයාද එක්ව සිටියේ නැත. සාකච්ඡාව අවසානයේ තීන්දු වූයේ හිටපු ජනාධිපතිනිය හමුවීමටය. යෝජනාව ඉදිරිපත් කළේ දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරුය. කෙසේ වෙතත් සඳුදා උදෑසනම මහින්ද අමරවීර ඇමැතිවරයා හිටපු ජනාධිපතිනිය ඇමැතුවේය. ‘‘අද හවසට එන්න’‘ ඇයගේ පිළිතුර වූවාය. එම පිළිතුරත් සමග මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කළද අසරණ වූයේ රන්ජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරයා පමණි. ‘‘ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම හවස තියෙනවා. මම ඉන්නම ඕනි’‘ ඔහුගේ පිළිතුර විය. රාජ්‍ය ඇමැතිවරයා හැර සියලු දෙනාම හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ නිවසට සවස හය වන විට පැමිණියහ. සාකච්ඡාව ආරම්භ කරමින් ‘‘හිටපු ජනාධිපතිනිය මෙසේ පැවසුවේය.

මෛත්‍රිට - දයාසිරිට දොස්

‘‘මට නම් මෛත්‍රිපාල, දයාසිරි පෙන්න්නන බැහැ. මගේ දේශපාලන දිවියේ කරපු ලොකුම වැරැද්ද තමයි මෛත්‍රිපාල ජනාධිපති කරන්න උදව් කරපු එක. එයා පක්ෂය ඒකාධිපති පාලනයකට ගෙන ගියා. සජිත්ට මුක්කු ගහන්න හදනවා. මම නම් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියේ නැහැ. නායකකම කවුරු හරි ගයි කියලා බය අය තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ’’ හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ දැඩි ආවේගශීලීවය. ‘‘ඔබතුමිය නැවත ඡන්දෙ ඉල්ලනවාද’’ මන්ත්‍රිවරු විමසූහ. ‘‘නැහැ මම ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ. නමුත් අනුශාසක ලෙස පක්ෂය බේර ගන්න නම් මැදිහත් වෙනවා‘’ ඇය ප්‍රකාශ කළේ දැඩි අධිෂ්ඨානයෙනි.

චන්ද්‍රිකා රනිල් හමුවක්

මෙම සාකච්ඡාවෙන් පසු දින හිටපු ජනාධිපතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහද හමුවූවාය. ඒ ජනාධිපති කාර්යාලයේදීය. සාකච්ඡාව ඔවුන් දෙදෙනාට පමණක් සීමා විය. කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට රටේ මන්දපෝෂණය තුරන් කිරීම පිළිබඳව දෙදෙනා අතර සාකච්ඡා වී තිබේ.

මහ පාරේ නිදාගත් අම්පාරේ මන්ත්‍රි

නිදහස් ජනතා සභාවේ නිදහසට ‘‘ පෙරවදනක්’’ වැඩසටහන පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහි සියලු වැඩකටයුතු පැවැරුණේ නවක මන්ත්‍රිවරුන්ය. වැඩසටහන පැමිණෙන සියලු දෙනා බුලත් හුරුලු දී පිළිගැනීම භාර වූයේ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයාටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ නියෝජනය කරමින් නායකයෝ ඊට එක්වූහ. මෙම වැඩසටහනේ වාර්තා සංස්කරණය භාරගත්තේ තිලක් රාජපක්ෂ මන්ත්‍රිවරයාය. ඔහු උත්සවයට පෙර දින රාත්‍රියේ මහරගම සංස්කරණ මැදිරියක සංස්කරණ කටයුතු කර අලුයම මාදිවෙල බලා පිටත් වූයේ තනියමය. දැඩි වෙහෙස හා නිදිමත හේතුවෙන් වාහනය පැත්තකට කර නතර කර නිදා ගත්තේය. මහපාරේ නිදාගත් අම්පාරේ මෙම මන්ත්‍රිවරයාගේ නින්දට බාධා කළේ පොලිස් නිලධාරියෙකි. ‘‘මෙතන වාහන නතර කරන්න අවසර තියෙන තැනක් නෙවෙයි. වාහනය ගන්න’’ පොලිස් නිලධාරියා ගෝරණාඩු කළත් මන්ත්‍රි හැදුනුම්පත පෙන්වා හීන්සීරුවේ මන්ත්‍රිවරයා එතැනින් මාරු වූයේය.

අප්පච්චිලා තුන් දෙනා

උත්සවය පැවැති ඉරිදා උදෑසනම උත්සව ශාලාවට පැමිණි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ආසන පැනවීමද සොයා බැලුවේය. උත්සවය ආරම්භ වීමෙන් පසු අවසානයේ ස්තුති කතාව කළ කේ.පී.කුමාරසිරි මන්ත්‍රිවරයා කියා සිටියේ ‘‘අපට අප්පච්චිලා තිදෙනකු සිටින බවයි. ඒ ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රිවරු බවද ඔහු කීවේය. කෙසේ වෙතත් උත්සවයේදී චරිත හේරත් හා නාලක ගොඩහේවා යන මන්ත්‍රිවරු කළ කතාව කාගේත් අවධානයට ​ලක් විය. උත්සවය අවසානයේ සියලු දෙනා සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. පන්දු වාර විස්සයි විස්සෙ ලෝක කුසලාන අවසන් මහ තරගය ඔස්ට්‍රේලියාවේ පැවැති දිනයයි. ‘‘අපි දැන් මැච් එක බලමු. මම බත්තරමුල්ලේ හෝටලයක් වෙන් කළා. රාත්‍රි කෑමක් සමග’’ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා සියලු දෙනාම සතුටට පත්වූ කාරණය හෙළි කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු මන්ත්‍රිවරු උත්තර ලංකා සභාව පිහිටුවා ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. අනුරාධපුරයේදී හා මහනුවරදී එම දැනුවත් කිරීමේ රැස්වීම්වලට ලැබුණේ හූ හඬකි. මෙම සතියේ මහනුවර පැවැති රැස්වීමේදී හූ හඬ එල්ල වීමත් සමග විමල් වීරවංශ මන්ත්‍රිවරයා සිය සහෝදර මන්ත්‍රිවරුන් වන වාසුදේව නානායක්කාර සහ තිස්ස විතාරණ තනි කර පිටත්ව ගොස් තිබුණි. මේ පිළිබඳව උත්තර ලංකා සභාවේ මන්ත්‍රිවරු අතර පැවැති සාකච්ඡාවකදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇත්තේ හූ කීම පෙරටුගාමීන්ගේ වැඩක් බවයි. ඊට සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයාද හවුල් බවට ඔහු චෝදනා කළේය. එහෙත් අනෙකුත් මන්ත්‍රිවරු ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බ​ලවේගය මෙය මෙහෙයවන බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක්

සමගි ජන බල​ සන්ධානයේ විශේෂ රැස්වීමක් මෙම සතියේ පැවැත්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. පලනි දිගම්බරන් මන්ත්‍රිවරයා හැර සෙසු පක්ෂවල නායකයින් ඊට සහභාගි වී සිටියහ. ‘‘අපි ජනාධිපතිවරයා සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සාකච්ඡා කළ යුතුයි ’’නායකයෝ පෙන්වා දුන්හ. ඒ සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණි.

සමගියට සලකනවාට පොහොට්ටුවෙන් බාල්දි

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුව සමග දීග කෑමට සූදානම් වන බවට වාර්තා පළ විය. ඒ අතරින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අයවැය ඉදිරිපත් කරන දින ආණ්ඩුවට එක් වන බවට මත ප්‍රචාරය වුවත් ඔහු සිටියේ සමගි ජන බලවේග කර්යාලයේය. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු කිහිප දෙනකු සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ප්‍රධාන වෙයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ අපට නොදී ජනාධිපතිවරයා සමගියට ඇමැති ධුර දෙන්නෙ මන්ද යනුවෙනි.

අනුර - චන්දිමලා සමගියට

​මේ අතර පොදුජන පෙරමුණෙන් ඉවත් වූ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රි කණ්ඩායම විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ සාකච්ඡාවකටය. පොදු විපක්ෂයක් ලෙස කළ යුතු කාර්යභාරය කතා කළ ඔවුන් සමගි ජන බල සන්ධානය සමග එකතු වීමට තීරණය කළහ. ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහ ජයරත්න හේරත් යන මන්ත්‍රිවරු සන්ධාන ගත වුවත් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ජෝන් සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න වැනි මන්ත්‍රිවරු ප්‍රකාශ කළේ සන්ධානගත නොවූ බවයි.

ඩයනා වෙනුවට කවුද

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරියක වන ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ලැයිස්තුවෙනි. ඇය ද්විත්ව පුරවැසියෙක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙන අතර ඒ පිළිබඳ නඩුවක්ද අධිකරණයේ විභාග වේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු මේ දිනවල කතා බහ කරන්නේ ඇයට මන්ත්‍රි ධුරය අහිමි වූ පසු ජාතික ලැයිස්තුවේ සුදුස්සෙකු පාර්ලිමේන්තු යැවීම ගැනය.

එජාපයේ චීන ප්‍රේමය

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චීන තානාපති කාර්යාලය අසල වි​රෝධතාවයකට එක්වූ සීතාවක ප්‍රා​දේශීය සභා මන්ත්‍රිනි ශෂී හෙට්ටිආරච්චි පිළිබඳ කතාබහක් ඇති විය. ‘‘ඇයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කළා. විනය පරීක්ෂණ තියෙනවා. පක්ෂයේ මතය චීනය තරහ කර ගැනීම නෙවෙයි’‘ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කීවේය. කෙසේ වෙතත් චීන තානාපති කාර්යාල විරෝධයට ගොස් ඇත්තේ සිව් දෙනෙකි. එක් අයෙක් ජාතික රූපවාහිනියට පැනපු කැලුම්. අනෙක් දෙදෙනා 43 සේනාංකයේ සාමාජිකයෝ. ඔවුන් අරගලයේ වැඩ කරපු අය.’’ පාලිත රංගේ බණ්ඩාර හා රුවන් විජේවර්ධන ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. මේ අයගෙන් දෙදෙනෙක් විරෝධතාව අවසන්ව පැමිණ ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට බව ආරංචියි’‘ කළමනාකරණ කමිටුවේදී අනාවරණ විය. ඒ ගැන ආරක්ෂක අංශවලින් වාර්තාවක් ගැනීමටද ජනාධිපතිවරයා තීන්දු කළේය. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී තලතා අතුකෝරාල හා ඩයනා ගමගේ ඉල්ලා සිටියේ දරුවන් මහණ කිරීම නතර කළ යුතුයි. ඊට විරුද්ධ වූ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ උත්තර දුන්නෙ බුද්ධ ධර්මයෙනි. ‘‘බුදුරජාණන් වහන්සේ රාහුල කුමරු මහණ කළ විට සුද්ධෝදන රජතුමා ඉල්ලීමක් කළා දෙමාපිය අවසරයකින් තොරව කුඩා දරුවන් මහණ කරන්න එපා කියලා. එය අදටත් වංලගුයි.’’ රාජ්‍ය ඇමැතිවරියගේ පිළිතුර විය. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය රාජකාරි නිම කර අමාත්‍යාංශයෙන් පිටත් වීමට පෙර ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගේ කාමරයට ගොඩ වීම සාමාන්‍ය සිරිත වෙයි. මෙම සතියේ දිනෙක කාර්යාලයට යනවිට ලේකම්වරයා හමුවීමට වෘත්තිය සමිති නායකයකු වන රවි කුමුදේශ් පැමිණ සිටින අයුරු ඇමැතිවරයාට නිරීක්ෂණය වූයේය. ‘‘හලෝ කුමී කොහොමද.’’ ඇමැතිවරයා විමසූවිට ‘‘හොඳින් ඉන්නවා’’ ඔහුගේ පිළිතුර වූයේය. ‘‘ඔයා ඉන්නේ ටී.වී. එකේනේ. අපේ අඩුපාඩු කියමින් අද මොනවද අපට දෙන්න යන්නෙ. මාධ්‍යයේ කියන්න ඕනි නැහැ මම මෙතන ඉන්නවනේ. දැන්ම කියන්න’‘ ඇමැතිවරයා ඉල්ලා සිටියත් කිසිවක් ප්‍රකාශ නොකළ රවී කුමුදේශ් ඊට පැයකට පසු මාධ්‍ය හමුවක් පවත්වා ඖෂධ හිඟය ගැන තොරතුරු හෙළි කළේය. උදයජීව
 

More News..