brand logo

ශ්‍රීලනිපයට දැන් බල්ලන්ට බළලුන්ට වගේ ගහනවා

10 March 2020

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා. දැන් මෙයාලා යූ.එන්.පී. එකට බනින්නෙ නැහැ. බනින්නේ ශ්‍රී ලංකා එකටයි. මෛත්‍රිපාල මහත්තයට’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය. හෙතෙම මෙසේ පැවැසුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවක් පෙරේදා (8 වැනිදා) පොතුහැරදී පැවැති අවස්ථාවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘පසුගිය ජනාධිපතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තීන්දුවක් ගත්තා. විවිධ මත තිබුණත් කට්ටියක් කිව්වා වෙනම තරග කරමු කියලා. සමහරු කීවා එ.ජා.ප යට උදව් කරමු කියලා. අපි එහෙම කළා නම් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරාදයි. අන්තිමට කුමාර වෙල්ගමයි, චන්ද්‍රිකා මැතිනිය ඇතුළු පිරිසක් ගිහිල්ලා සජිත් ප්‍රේමදාසට උදව් කළා. ඒ රැස්වීම්වලදී කුමාර වෙල්ගම මොකක්ද කිව්වේ දයාසිරි ජයසේකරගේ කනින් අල්ලා එළියට දානවා කිව්වා දිනුවොත්. අපි එහෙමයි මේ පක්ෂය බේරගෙන හිටියෙ. අපි හරි තැන හිට ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දිනවන්න මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියඹලා ගෙනල්ලම නැද්ද? මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය ගත්තේ පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනෙකුත් වාමාංශික පක්ෂ එකට එකතු වෙලා ගත්තු ජයග්‍රහණය නිසා කියලා හොඳට මතක තියාගන්න. ඒක අද එයාලට අමතක වෙලා. මට හරිම කනගාටුයි අන්න ඒ ගැන. ගුණමකුකම කියන්නෙ අන්න ඒකටයි. අද මේ සමහර නායකයන්ට ඒක අමතක වෙලා. අලුත් ආණ්ඩුවක් හදන්න පළවැනි මුරගල අපි හැදුවා. අලුත් ආණ්ඩුව හදන්න කලින් මේ මාස තුන ඇතුළේ එක පාර්ශ්වයක් තව පාර්ශවයකට පහර දෙනවා. දැන් හරිද? අස්ථාවරය නෙවෙයි ද මේ ගේන්න හදන්නේ? තවම අපිට බඩු මිල බස්සගන්න බැරි වුණා. පරණ ආණ්ඩු ගෙනාව ප්‍රශ්න තවම ති​යෙනවා. ඒවා විසඳගන්න තියෙනවා ඒවා විසඳගන්න තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ කියලත් කියනවා. දැන් මෙහෙම මැතිවරණ කරගෙන කොහොමද තුනෙන් දෙකේ ආණ්ඩුවක් හදන්නේ? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගහනවා බල්ලන්ට බළලුන්ට ගහනවා වගේ උදේ ඉඳල රෑ වෙනකල්. මෛත්‍රිපාල සිරිසේනගේ ගෑවුණ කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා කියනවා. ඕක කියන්න තිබුණේ 2019 ජනාධිපතිවරණයේදී. එදා එහෙම කිව්වෙ නෑ එදා ඕනෑ ගිවිසුමක් අත්සන් කළා. මෙයාලා මේ මොකක්ද කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වැඩපිළිවෙළ දැම්ම පටන් අරගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් අද පොදුජන පෙරමුණක් නැහැ’’.
 

More News..