brand logo

ශ්‍රීලනිපයට එජාපයෙන් ආරාධනා

30 September 2019

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත. ඒ අනුව පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබේ. සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂය කර ඇති ආරාධනය අද (30දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර එය පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සමග සාකච්ඡා සාර්ථක වුවහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පෙරේදා (28) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමේ තීරණයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්ඡා මේ වන විට බිඳ වැටෙන තත්ත්වයක් උද්ගතව පැවැතීම බවද එම ප්‍රකාශකයා කීවේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉකුත් 27 වැනිදා දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැති අතර ඒ සඳහා පො.ජ.පෙ. නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන අය එක්ව සිටියහ. මේ වන විට මතභේදයකට තුඩු දී ඇති පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමේ ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමට දැන් ප්‍රමාද වැඩි බවය. ලාංඡනය වෙනස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාද මෙහිදී උත්සාහයක් ගෙන තිබේ. කෙසේ වුවද පොහොට්ටුව ලාංඡනය වෙනස් කළ නොහැකිය යන තීරණය අද (30දා) මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ අතර පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු නොවන ලෙස බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන් පක්ෂ නායකත්වයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවද කියයි. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අත සහ බුලත් කොළය ලාංඡන යටතේ පොහොට්ටුවට එරෙහිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ තමන් පොහොට්ටුව ලාංඡනය වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන් ඉදිරිපත් කර ඇත. නිලන්ත මදුරාවල
 

More News..