brand logo

ශ්‍රීලංකන් ගුවන් නියමුවෙකුට කොවිඩ්

22 January 2021

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියමුවකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. මෙම ගුවන් නියමුවා පසුගිය සඳුදා (18 වැනිදා) පැවැති ශ්‍රීලන්කන් ගුවන්සේවයේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරියා සහ ගුවන්නියමුවන් 40කට වැඩි පිරිසක් සහභාගි වූ සාකච්ඡාවකටද සහභාගි වී තිබේ. අදාළ සභාපතිවරයාට මෙම ගුවන් නියමුවා කැඳවා ඇත්තේ ගුවන් කාර්යමණ්ඩල වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමිනි. මෙම ගුවන්නියමුවා පසුගියදා ඕස්​ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා පියාසර කර ඇති අතර එහි දී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් අදාළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව නිකුත් කර ඇත්තේ ගුවන් නියමුවා ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසුවය. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගිය අයට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ගුවන් ගමකින් පසුව නියමිත කාලයක් දක්වා සේවා කටයුතු සඳහා සහභාගි නොවිය යුතු නමුත් එම මාර්ගෝපදේශ කඩකරමින් පී.සී.ආර්. වාර්තාව ලැබීමට ප්‍රථම අදාළ සාකච්ඡාවට සහභාගි වී තිබේ. එසේම මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගුවන් නියමුවාට වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ පසු ශ්‍රීලන්කන් ගුවන් සේවය ඒ පිළිබඳව කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කිරීමක්ද සිදු කර නැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. මේ පිළිබඳව ඊයේ (21 වැනිදා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් නියමුවාට වයිරසය ආසාදනය වී ඇති බව පිළිගෙන ඇත. අදාළ රැස්වීමට මෙම ගුවන් නියමුවා පැමිණි නුමුත් එම සාකච්ඡාව සංවිධානය කර තිබුණේ පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරමින් බවත් ගුවන් සේවය ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ
 

More News..