brand logo

ශවේන්ද්‍රට කමල්ට ලැබුණු ජෙනරාල් නිලය මොන වගේද

02 January 2021

ගිය සතිය වනතුරා වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති හැඳින්වූයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනුවෙනි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගැන ලියැවුණේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කියාය. මේ හැඳින්වීම ඉකුත් විසි අටවැනිදා පස්වරුවේ පටන් වෙනස් වූවේය. දැන් යුද හමුදාපති හැඳින්වෙන්නේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනුවෙනි. කමල් ගුණරත්න හැඳින්වෙන්නේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න කියාය. මේ නිල වෙනසට හේතුව සේනාධිනායක ගෝඨ‍ාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන් දෙන්නාම එකවර ජෙනරාල් නිලයට උසස් කිරීමය. ලංකා හමුදා ඉතිහාසයේ දෙදෙනෙකුට ජෙනරාල් නිලයට එකම මොහොතක උසස්වීම් දුන් මුල්ම අවස්ථාව මෙය වන්නේය. සේනාධිනායකයා විසින් ශවේන්ද්‍ර සිල්වාත්, කමල් ගුණරත්නත් ජෙනරාල් නිලයට උසස් කරන ලද්දේ ඔවුන් කළ සේවය අගයන්නටය. සිව්වැනි ඊළාම් යුද්ධයේදී ඔවුන් දෙදෙනාම සේනාංකාධිපතිවරුය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න 53 වැනි සේනාංකාධිපතිය. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාධිපතිය. සිව්වැනි ඊළාම් සටනේදී ඔවුන් දෙදෙනා අණ දුන් සේනාංකවල දස්කම් ගැන අපි අනන්තවත් අසා ඇත්තෙමු. එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් ඇත්තේය. ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනා අතරින් ‘රණසූර’, ‘රණවික්‍රම’ හා ’වීර වික්‍රම විභූෂණ’ යන වීර පදක්කම් ත්‍රිත්වයම මුල් වරට දිනා ගත් නිලධාරියා ශවේන්ද්‍ර සිල්වාය. තම දිවි නොතකා සිය සගයන්ගේ දිවි බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කරන වීර වික්‍රමාන්විත ක්‍රියාවන් සඳහා පිදෙන එම වීර පදක්කම් දිනා ගන්නා විට ශවේන්ද්‍ර සිල්වා තරුණ ලුතිනන්වරයෙකි. කමල් ගුණරත්නත්, ශවේන්ද්‍ර සිල්වාත් ගජබා රෙජිමේන්තුවේය. මේ අතරින් ජ්‍යෙෂ්ඨයා කමල් දෙදහස් දහසයේදී ඔහු යුද හමුදා දිවියෙන් ඉසිඹු ලබන විට දරමින් සිටියේ මේජර් ජෙනරාල් නිලයය. යුද හමුදාව සිව්වැනි ඊළාම් යුද්ධය කරන කාලයේ කමල් ගුණරත්නගේ සමකාලීන සේනාංකාධිපතිවරු වූ මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ හා මේජර් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාම ලැබූ පසු ලුතිනන් ජෙනරාල් නිලයට උසස්වීම් ලදහ. යුද හමුදාපති ධුරය නොහොබවා ජෙනරාල් නිලයට පත්වූ දෙවැනියා වන්නේ ජෙනරාල් කමල් ගුණරත්නය. යුද හමුදා ඉතිහාසයේ යුද හමුදාපති ධුරය නොදරා ජෙනරාල් නිලයට පත්වූ පළමුවැනියා වන්නේ ජෙනරාල් සිරිල් රණතුංගය. එක්දහස් නවසිය අසූතුනේදී ඔහු බ්‍රිගේඩියර් නිලයෙන් විශ්‍රාම ලැබුවේය. ඉක්බිතිව එක්දහස් නවසිය අසූපහේදී යළි සක්‍රිය සේවයට කැඳවනු ලැබූ ඔහු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරන ලදී. පසුව ඔහු ජෙනරාල් නිලය ලැබීය. යුද හමුදා ඉතිහාසයේ එල්.ටී.ටී.ඊ.යට එරෙහිව මහා පරිමාණයෙන් ඇරඹූ මුල්ම මෙහෙයුම වූ ‘ඔපරේෂන් ලිබරේෂන්’ හෙවත් ‘වඩමාරච්චි මෙහෙයුමේ’ සමස්ත අණදෙන්නා වූයේ ඔහුය. ජෙනරාල් සිරිල් රණතුංගගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන්ව ඇත්තේ ඔහු ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කිරීමට ජනපතිවරයා උත්සාහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කළ බවය. ෆීල්ඩ් මාර්ෂල් නිලය හැඳින්වෙන්නේ යුද හමුදාවේ ඉහළම නිලය ලෙසය. එම නිලය තවත් විදියකින් හඳුන්වන්නේ තරු පහේ ජෙනරාල්වරයෙක් ලෙසය. ජෙනරාල් වූ කලී ෆීල්ඩ් මාර්ෂල් නිලයට පමණක් දෙවැනි නිලයකි. ජෙනරාල්වරයෙක් තරු හතරේ ජෙනරාල්වරයෙක් ලෙසද හඳුන්වති. තරු හතරේ ජෙනරාල්ලා හැර තවත් ජෙනරාල්ලා සිව් ගොල්ලක් යුද හමුදාවේ සිටිති. තනි තරුවේ ජෙනරාල්ලා යනුවෙන් හැඳින්වෙන්නේ බ්‍රිගේඩියර්ලාය. තරු දෙකේ ජෙනරාල්ලා කියන්නේ මේජර් ජෙනරාල්ලාටය. තරු තුනේ ජෙනරාල් කියන්නේ ලුතිනන් ජෙනරාල්වරයන්ටය. එදා මෙදා හැමදාමත් යුද හමුදාවේ සිටින්නේ තරු තුනේ ජෙනරාල්වරයෙක් පමණි. ඒ යුද හමුදාපතිවරයාය. තරු තුනේ ජෙනරාල්වරයෙක් ඊළඟට උසස් කෙරෙන්නේ ජෙනරාල් නිලයටය. ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල්, ලුතිනන් ජෙනරාල්, මේජර් ජෙනරාල් මේ මොන නිලය වුණත් අපට ලැබී ඇත්තේ සුද්දාගෙනි. එක්දහස් නවසිය හතළිස් නවයේදී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන තුරු අපේ රටේ තිබුණේ රාජකීය යුද හමුදාවය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබී ලංකා යුද හමුදාව පිහිටවූයේ සුද්දාගෙන් හමුදා නිලතල හා සම්ප්‍රදායන්ද සමගය. එකල යුද හමුදාවේ තරු දෙකේ, තුනේ, හතරේ ජෙනරාල්වරයෙක් සිටියේ නැත. ලංකා යුද හමුදාවේ මුල්ම යුද හමුදාපති ලෙස පත්වූයේ තනි තරුවේ ජෙනරාල්වරයෙක් වූ බ්‍රිගේඩියර් සින්ක්ලේයාර්ය. සුද්දෙක් වූ ඔහු එක්දහස් නවසිය හතළිස් නවයේ සිට පනස් දෙක දක්වා යුද හමුදාපති ධුරය දැරීය. තරු දෙකේ ජෙනරාල් නිලයට උසස් වීම් ලද මුල්ම ශ්‍රී ලාංකිකයා වන්නේ එක්දහස් නවසිය පනස් පහේ සිට පනස් නවය දක්වා යුද හමුදාපති ධුරය දැරූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරුය. ඔහුගේ සිට එක්දහස් නවසිය හැත්තෑ හතර දක්වා යුද හමුදාපති ධුරය දැරූ සියල්ලෝම තරු දෙකේ ජෙනරාල්ලා වූහ. තරු තුනේ ජෙනරාල්වරයෙක් හෙවත් ලුතිනන් ජෙනරාල් නිලයට පත්ව යුද හමුදාපති පුටුවේ වාඩි වූ ප්‍රථමයා සේපාල ආටිගලය. එතැන් සිට හමුදාපති ධුරයට පත්වූ සියල්ලෝම ලුතිනන් ජෙනරාල්ලා වූවෝය. ලුතිනන් ජෙනරාල් නිලයෙන් පසුව ඇත්තේ ජෙනරාල්ය. ජෙනරාල් නිලය සලකුණු වන්නේ නිල ඇඳුමේ උරහිස් පටියේ පලඳවන කතිර ආකාරයට තිබෙන කඩුවක්, යෂ්ටිය, රාජ්‍ය ලාංඡනය හා තරුවකිනි. ජෙනරාල්වරයාගේ නිල ඇඳුමේ කොළරයේ ඉදිරිපස දෙපස තරු හතරක්ද ප්‍රදර්ශනය කෙරේ. කැලෑ ඇඳුමට පලඳවන හිස් වැස්මේද තරු හතරක් ප්‍රදර්ශනය කෙරේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගමන් කරමින් සිටින නිල රියේ මෙපමණ කලක් ප්‍රදර්ශනය කළේ රතු පැහැති පසුබිමේ තරු තුනකි. යුද හමුදාපතිවරයාගේ නිල රියේ පිටුපසද එලෙස තරු තුනක් ගසා ඇත්තේය. හමුදාව ගැන අවබෝධයක් ඇති අයකුට නම් මේ රියේ යුද හමුදාපතිවරයා ගමන් කරමින් සිටින බව දන්නේය. ඔහු මේ බව දැන ගන්නේ තරු තුනෙනි. මක්නිසාද යත් තරු තුනක් ප්‍රදර්ශනය කරමින් ගමන් කළ හැකි එකම යුද හමුදා නිලධාරියා යුද හමුදාපතිවරයා බැවිනි. යුද හමුදාපතිවරයා රියේ ගමන් නොකරන්නේ නම් හම් කොපුවකින් තරු තුන ආවරණය කරන්නේය. දැන් යුද හමුදාපතිවරයා ගමන් කරන වාහනයේ දෙපසට තවත් තරුවක් වැඩිවී තිබේ. ඒ ඔහු දැන් තරු හතරේ ජෙනරාල්වරයෙක් වන බැවිනි. ඔහුට ඉහළින් නිල ඇඳුමෙන් සැරසී තරු පහක් ගසාගෙන යාමට යුද හමුදාවේ සිටින්නේ එක් අයෙක් පමණි. ඒ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණි. ෆීල්ඩ් මාර්ෂල් නිලය හැර අනෙකුත් සියලුම ජෙනරාල්ලා හමුදා දිවියෙන් විශ්‍රාම ලද පසු සිය රියවල තරු ගසාගෙන යන්නේ නැත. නිල ඇඳුම් අඳින්නේද නැත. ෆීල්ඩ් මාර්ෂල්වරයන්ට ඒ නීතිය අදාළ නොවන්නේ එම නිලය කිසිදා විශ්‍රාම නොලබන බැවිනි. මියෙන තුරා ඔහුට එම නිලය හිමිය. ඉන්දියාවේ ෆීල්ඩ් මාර්ෂල් සෑම් මනික්ෂෝ ඊට අපට තිබෙන ළඟම උදාහරණයය. කෙසේ නමුදු විශ්‍රාම ලැබූ ජෙනරාල්ලා ඇතුළු නිලධරයන්ට තමන් යුද හමුදාවේ ලද වීර පදක්කම්ද, තොප්පියද හමුදා උත්සවවලදී පැලඳීමට අවස්ථාවන් ඇත්තේය. සේවයෙන් ඉසිඹු ලද ජෙනරාල්වරයෙක් ඇතුළු සියලු හමුදා සාමාජිකයන්ට යළි නිල ඇඳුම් අඳින්නට නොව අන්දවන්නට ඇත්තේ එක් අවස්ථාවකි. ඒ ඔහුගේ මළගමේදීය. යුද හමුදාවෙන් විශ්‍රාම ගියද ඔහුගේ මළගම පැවැත්වෙන්නේ හමුදා උත්තමාචාර සමාචාර මැදය. ජෙනරාල්වරයෙක්ගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහු වෙනුවෙන් කාලතුවක්කු ආචාර වෙඩි මුර දහනවයක් දෙනු ලැබේ. ෆීල්ඩ් මාර්ෂල් වරයෙක්ට නම් කාලතුවක්කු උණ්ඩ විසි එකකි. ජෙනරාල්වරයෙකුගේ අවමංගල පෙරහරට සෙබළු දහසක් එක්වෙති. ඒ ආකාරයට ගරු ගාම්භීර අවමංගල්‍ය උළෙලක් මැද අවසන් ගමන් ගිය අන්තිම ජෙනරාල්වරයා වූයේ රොහාන් දළුවත්තය. ඔහු ජෙනරාල් නිලයට පත්වූයේ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබූ පසුය. යුද හමුදාපති පුටුවට සමුදී විශ්‍රාම ලබන විට ජෙනරාල් නිලයට උසස් කරන ලද මුල්ම ජෙනරාල්වරයා සේපාල ආටිගලය. එතැන් සිට යුද හමුදාවේ සම්ප්‍රදාය වූයේ විශ්‍රාම ලබන සෑම යුද හමුදාපතිවරයෙක්ම විශ්‍රාම ලැබීමට දින දෙක තුනකට පෙර සේනාධිනායකයා විසින් ජෙනරාල් නිලයට උසස් කිරීමය. කෙසේ නමුදු විශ්‍රාම නොලබා එනම් සක්‍රීය සේවයේ යෙදී සිටියදී ජෙනරාල් නිලයට පත්වූ ප්‍රථම නිලධාරියා වන්නේ සරත් ෆොන්සේකාය. එල්.ටී.ටී.ඊ.ය සමූල ඝාතනය කර යුද්ධය අවසන් කිරීමට යුද හමුදාවට දුන් නායකත්වය අගය කරමින් මහින්ද රාජපක්ෂ ඔහු ජෙනාරාල් නිලයට උසස් කරන ලදී. ඉක්බිතිව යුද හමුදාපති වූ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වීමට මසකට කලින් සක්‍රීය සේවයේදී ඔහුත් ජෙනරාල් නිලයට උසස් කරන ලදී. යුද හමුදාපති ධුරය දරමින් ජෙනරාල් නිලයට උසස්වීම් ලද තෙවැන්නා ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර සිල්වා සමග මේ වන විට යුද හමුදාවේ ජෙනරාල් නිලයට උසස්වීම් ලද නිලධාරීන්ගේ ගණන දහඅට දෙනෙකි. මේ දහඅට දෙනාට අමතරව තවත් ජෙනරාල්ලා තිදෙනෙක් ලංකාවේ සිටියහ. ඔවුහු තිදෙනාම දේශපාලනඥයෝය. දේශපාලනඥයන් වීමට පෙර ඒ තිදෙනාම යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ නිලධාරීහු වූහ. ඉන් ප්‍රථමයා ජෝන් කොතලාවලය. ශ්‍රී ලංකා පාබළ හමුදාවේ නිලධාරියෙක් වූ ඔහු ලංකාවේ තෙවැනි අගමැතිවරයාය. කොතලාවල ආරක්ෂක පීඨයට ඔහු සිය රත්මලානේ කඳවල වලව්ව පරිත්‍යාග කළේය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහු ජෙනරාල් නිලයට උසස් කළේය. වැවිලිකරුවෙක් වූ රන්ජන් විජේරත්න රයිෆල් බළකායේ රාජකාරි කළේය. විජේවීර මරා දමා ජවිපෙ දෙවැනි කැරැල්ල මැඩලීමට නායකත්වය දුන්නේ එකල ජාතික ආරක්ෂක ඇමැතිවරයා වූ ඔහුය. එක්දහස් නවසිය අනූ එකේදී එල්.ටී.ටී.ඊ. බෝම්බයකින් ඔහු ඝාතනය වූ පසු ඔහු ජෙනරාල් නිලයට උසස් කෙරුණේය. මරණයෙන් පසු ජෙනරාල් නිලයට උසස්වීම් ලද මුල්ම යුද හමුදා නිලධාරියා ඔහුය. මේ දෙන්නා මෙන් නොව අන්තිමට ජෙනරාල් නිලයට පත්වූ දේශපාලනඥයා මැති ඇමැතිකම් දරමින්ද, යුද හමුදා නිල ඇඳුම ඇන්දේය. ඔහු අනුරුද්ධ රත්වත්තේය. හමුදා දිවියට සමුදෙන විට සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල්වරයෙකි. මැතිනියගේ මස්සිනා වූ ඔහු, ඇය අගමැතිනිය දැරූ කාලයේ ඇගේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියා විය. එක්දහස් නවසිය අනූ පහේදී යුද හමුදාව යාපනය මුදා ගත් කාලයේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ ඔහුය. එකල ඔහුගේ ලේලිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුලින් සිය මාමා කර්නල් නිලයටත්, එතැනින් කෙලින්ම ජෙනරාල් නිලයටත් උසස් කළේය. එකල ඔහු යුද බිමට ගියේ යුද හමුදා කැලෑ ඇඳුම් ඇඳ ජෙනරාල් නිලය පැලඳගෙනය. යාපනය බේරා ගත් දෙවන ‘සපුමල් කුමරා’ ලෙස අභිෂේක කරගත් ඔහු දේශපාලනයේ ලොකු ගමනක් යන්නට හැදුවද එය හරි ගියේ නැත. මිහිරි ෆොන්සේකා ඡායාරූප - ලලිත් පෙරේරා
 

More News..