brand logo

ශලනි තාරකා රංගනයෙන් සමුගනී?

11 September 2021

බැඳලා ඩිවෝස් වෙන්න බෑ

ගෙදරට වෙලා මාසයක් වෙනවා

ක්ෂේත්‍රයට ආපු කාලේ කෙට්ටුයි කිවුවා; දැන් මහත වැඩියිලු හිතා ගන්න බෑ මොන රූපයක්ද ඉල්ලන්නේ කියලා

ආදරය කියන එක බොරුවට කරල වැඩක් නෑ

රඟපාපු චිත්‍රපට එද්දි බැඳලා ළමයිනුත් හම්බ වෙලා තියේවි

සිනමා අධ්‍යක්ෂවරුන්ට මාව විශ්වාස නෑ

නිරෝධායනය වෙනවා කියන්නේ කොරෝනා හැදෙන එක නම් මට පස් පාරක් විතර හැදුණා

කැපිලි කෙටිලි මැද්දෙන් ආපු ගමනක්

දැන් ශලනි තාරකා ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට වාසනාවන්ත වෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබෙන්නේ නම් ශලනි රංගනයෙන් සමුගෙන බව. ඇත්තටම මොකක්ද මේ කතාව කියලා හරියටම දැන ගන්නත් එක්ක පිනිපලසේ අපි ශලනිට කතා කළා.

මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?

කොරෝනා හැදුන නිසා පහුගිය ටිකේම ගොඩක් විවේකිව හිටියා. වෛද්‍යවරු කිව්වෙත් පුළුවන් තරම් විවේකීව කාලය ගත කරන්න කියන දේ. ඒ නිසා මාසයකට ආසන්න කාලයක් වෙනවා දැන් ගෙදරට වෙලා. ලැබුණු පිටපත් කියවන එක සහ මගේ යූටියුබ් නාළිකාවේ ඉදිරි වැඩ සැලසුම් කිරීම කළා. ඒ අතරේ මේ කොරෝනා නිසාම අසරණ වී ඉන්න පවුල් වෙනුවෙන් පරිත්‍යාග ලබාදීමේ පොඩි වැඩක් පටන් ගත්තා. මේ ඔවුන්ට අපේ උදව් අවැසිම මොහොතක්. ඒ වෙනුවෙන් තමා මේ කාලය යොදවලා තියෙන්නේ.

ශලනි සමාජ මාධ්‍යට අනුව නම් මේ කීවෙනි පාරද කොරෝනා හැදුණ...

මුලින්ම නම් දවස් තුනක නිරෝධායනයක හිටියේ. එතැනදීත් කොරෝනා හැදිලා කියලා තමා ප්‍රචාර ගියේ. ඊට පස්සෙත් අපි ආශ්‍රිතයෝ වුණාමත් ස්වයං නිරෝධායනයට යොමු වුණා. කවුරු හරි හිතනවා නම් නිරෝධායනය වෙනවා කියන්නේ කොරෝනා හැදිලා කියලා මේ වෙද්දී මට හතර පස් පාරක් හැදිලා.

ඇයි රංගනයෙන් සමුගන්න හිතුවේ...

මම රංගනයෙන් සමුගන්නවා කියලා කොහේවත්දීවත් කියලා නැහැ. මම කිව්වේ කොවිඩ්-19 වැළඳීම නිසා තාවකාලිකව ඉවත් වෙනවා කියන එක. යූටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යවල වැරදි ප්‍රචාරයක් ගිහිල්ලා තිබ්බා මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. මටත් කිහිප දෙනෙක්ම කතා කරලා ඇහුවා ඇයි අයින්වෙන්නේ කියලා. මේ තත්ත්වය පොඩ්ඩක් අඩු වෙනකම් මම රූගත කිරීම්වල‍ට සහභාගි වෙන්නේ නැහැ. ‘කියාදෙන්න ආදරේ තරම්’ නාට්‍යය නම් කෙටි කාලයකට නතර කරලා තියෙන්නේ. ‘චලෝ’ නිර්මාණයේ නම් රූගත කළ කොටස් තියෙන නිසා ඒවා විකාශය වෙනවා.

‘MAKE UP’ ශලනි අධ්‍යක්ෂණය කරපු පළමු කෙටි චිත්‍රපටය...

කෙටි චිත්‍රපටයක් කරන්න හිතුවේ ගිය අවුරුද්දේ ලොක්ඩවුන් එකේදී. සියල්ල සැලසුම් වෙද්දී රට විවෘත වුණා. ඊට පස්සේ ලොක්ඩවුන් එකෙන් පස්සේ තමා රූගත කළේ. මේ නිර්මාණය කළේ නිකන් ඉන්න කාලය අපරාදේ නිසා අපි සතු හැකියාවන් වර්ධනය කර ගන්න.

මීට කලිනුත් කෙටි චිත්‍රපටයක් කළා නේද?

ඔව්. ඒක පළවැනි ලොක්ඩවුන් එකේදී ජංගම දුරකථන මගින් කරපු නිර්මාණයක්. ඒකට සම්බන්ධ වුණේ මගේ හොඳම යාළුවො දෙන්නා. මේ මොහොතේ අපි තුන්දෙනා ඉන්නේ එකම වසංගතයකට කොටු වෙලා රටවල් තුනක. ඒ ගැන දනුවත් කරන්න කරපු නිර්මාණයක්. මේ සැරේ නිර්මාණය තුළින් ඊට වඩා පියවරක් ඉදිරියට ගෙනාවා. පළපුරුදු කැමරාකරුවෙක් වෙන කුලරුවන් ගමගේ තමා මේක රූපගත කළේ. එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පූජන සහ අනුරාධාටත් කියපු ගමන් මේ වැඩේ කරමු කියලා එකතු වුණා. පළපුරුදු කණ්ඩායමක් එක්ක කරපු කෙටි වැඩක්.

අලුත් ගී නිර්මාණ කරාද?

නිර්මාණ දෙකක් මේ වෙද්දී සංගීතවත් කරන්න භාර දීලා තියෙනවා. තව ටික කාලයක් යයි ඒවායේ වැඩ අවසන් කරන්න.

මේ ගමන එන්න පහසු වුණාද?

ඇත්තටම පහසු නැහැ. දැන් අවුරුදු 12ක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිත්. කැපිලි කෙටිලි බාධක හැමදේම තිබ්බා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.

මේක අතහැරලා යන්න හිතුණ අවස්ථා නැද්ද?

තියෙනවා. ඇයි මම මේක කරන්නේ කියලා එපා වුණු අවස්ථා තියෙනවා. එහෙම හිතුණට ඒ කාලයෙදීම ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණාම ආයෙම නිර්මාණවල යෙදුණා.

ඒ දේවල් ගැන අද මොකද හිතෙන්නේ...

මට ආව අභියෝගවලට මුහුණ දුන් විදිය සහ ඒ තුළින් ලැබූ අත්දැකීම් සහ පන්නරය ගැන අද හිතද්දි ලොකු සතුටක් තියෙනවා.

පුංචි තිරයේ අපි විවිධ චරිත තුළින් දස්කම් දකිනවා, එතකොට සිනමාවෙන්...

සිනමාවෙන් මට එහෙම අවස්ථා ලැබුණේ නැහැ.

මොකක්ද හේතුව විදියට දකින්නේ?

සිනමා අධ්‍යක්ෂවරුන්ට මගේ ගැන එහෙම විශ්වාසයක් නැතුව ඇති.

මුල් කාලයේදීවත් සිනමාවට ආරධනා ලැබුණේ නැද්ද?

මුල් කාලයේ මට වාණිජ ධාරාවේ කියන සිනමාපටවලට නම් ආරාධනා ලැබුණේ නැහැ. මොකද මම ඇඟපතෙන් පොඩි කෙනෙක්. සමහරු එදා මට කිව්වේ අනේ පොඩ්ඩක් ඇඟපත හදාගන්නකෝ කෝටුකිතයි වගේ කියලා. අද ඒ අය මාව දැක්කම කියන්නේ අනේ මහත්වෙලානේ කියලා. මම දන්නේ නැහැ ඒ අයට අවශ්‍ය කරන රූපය මොකක්ද කියලා. අර නිදහසට කියන කාරණයක් විතරයි. මම කොහොමත් නිතරම අධ්‍යක්ෂවරුන්ට කතා කරලා වැඩ ඉල්ලගෙන යන කෙනෙක් නෙවෙයි. එහෙම වුණාමත් අපිව අමතක වෙනවනේ. මම නිර්මාණ කිහිපයක් කළා. ඒවා තවම තිරගත වුණේ නැහැ. රොහාන් පෙරේරාගේ චිත්‍රපටයේ වැඩ අවසන් කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලය මගින් කරපු ‘විය සිදුරු’ චිත්‍රපටයේ කලණ අයියයි, මායි රඟපෑවා. කවදා හරි එයි.

බොහෝ දෙනා කැමති සිනමා නිළියක් වෙන්න, ශලනිට ඒ අවස්ථාව මගහැරුණු එක ගැන දුකක් නැද්ද?

කිසිම කනගාටුවක් නැහැ. මම විශ්වාස කරනවා ඊට වඩා දෙයක් මම පුංචි තිරයට කළා කියලා. අද සිනමා නිර්මාණ කරත් තිරගත වෙන්න යන කාලය එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් චිත්‍රපට එද්දී මම කසාද බැඳලා ළමයිනුත් හම්බවෙලා තියෙයි. සිනමා නිළියක් කියන එක අතීතයේදී නම් හොඳයි. අද චිත්‍රපට බලන්න යන්නේ කවුද? කියන ප්‍රශ්නය එක්ක මම හිතන්නේ මම වාසනාවන්තයි කියලා. පුංචි තිරයේ ප්‍රේක්ෂකයාට දැනෙන නිර්මාණ කරන්න මට අවස්ථාව ලැබුණා.

චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?

මට ලැබෙන හැම චරිතයක්ම මම භාර ගන්නේ නැහැ. මට දින තියෙන විදියට තමා මම භාර ගන්නේ. ගොඩක් නිර්මාණ මගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තියලා මට ආරාධනා කරපු නිර්මාණ. සමහර නිරමාණ බැහැ කියලා අධ්‍යක්ෂවරයාගේ විශ්වාසය මත කරපු නිර්මාණ. ඒකට හොඳම උදාහරණය හොඳම නිළිය සම්මානය ලැබුණු අඩෝ නාට්‍යයේ චරිතය. මට අධ්‍යක්ෂ සුපුන් රත්නායක කතා කරාම මම බෑම කිව්ව චරිතයක්. නැහැ මට පුළුවන් කියන විශ්වාසය ඇති කළේ අධ්‍යක්ෂවරයා. ඒ වගේම මම කලින් කරපු එක වගේ චරිත මම භාර ගන්නේ නැහැ.

කරන්න ආස මෙතෙක් නොලැබුණු චරිතයක් තියෙනවද?

මම කැමති අඳ, ගොලු, බිහිරි කියන තුනම තියෙන චරිතයක් කරන්න.

අලුත් පරම්පරාව එක්කත් ශලනි වැඩ කරනවා, කොහොමද ඒ අයව දකින්නේ..

මේ දවස්වල මම දායකවෙලා ඉන්න චලෝ නිර්මාණය ගැන කතා කරද්දි රඟපාන සියලුම දෙනා වගේ අලුත් අය. ඒ කණ්ඩායම තුළ ඉන්නේ පළවැනි වතාවට කැමරාවට මුහුණ දෙන අය. හැමෝම දක්ෂයි වගේම උනන්දුයි. රංගනය හදාරා නැති ෆුට්බෝල් ක්‍රීඩිකාවන් පවා ඉන්නවා. සැහැල්ලුවෙන් රඟපානවා කියලා හිතාගන්නත් බැරි විදියට රඟපාන අවස්ථා මම ඔවුන් තුළින් දකිනවා. විශේෂම දේ ජනප්‍රිය වෙන මානසිකත්වය ඇතුළෙ දුවන අය නෙවෙයි. රඟපාන වෙලාවට ඇවිත් අහනවා මේක මෙහෙම කරන්නද කියලා. උනන්දුව තියෙන ලැබුණු වැඩේ හරියට කරන්න ඕනේ කියන තැන ඉන්න පිරිසක්. අද ගොඩක් ඉන්නේ දෙබස් ටික කටපාඩම් කරලා ඇවිත් ඒ ටික කියලා ගිහින් පැත්තකට වෙලා ෆෝන් එකේ ඉන්න අය. මේ අය එහෙම නැහැ. ඒ නිසා තමා ඒ කණ්ඩායම අද සාර්ථක වෙලා ඉන්නේ. මට ශූටින් යන්න බැරි වුණත් මම ගෙදර ඉඳන් නාට්‍යය බලනවා. මටත් ලොකු සතුටක් තියෙනවා පළවැනි දවසට වඩා ඒ අයගේ රංගනය අද දකිද්දී.

තව කොච්චර කාලයකින්ද දර්ශන තලයට යන්න හිතන් ඉන්නේ..

මේ වාතාවරණය තව පොඩ්ඩක් හොඳ වුණාම වැඩ පටන් ගන්න ඕනේ. සමහර භාර ගත්ත නිර්මාණ අතරමග නැවතිලා නිසා මේ මාසේ අග වැඩ පටන් ගන්නත් පුළුවන්.

ශලනි ආදරය දකින්නේ කොහොමද?

මේ කාලේ නම් ආදරය ගැන හිතන්න වෙලාවක් නැහැ. ආදරය කියන්නේ වෙනම දෙයක්. හරියට අවංකවම කරන්න ඕනේ දෙයක් සහ එක්තරා විදියේ පරිත්‍යාගයක්. අපි ආදරය කරන කෙනා විදියට අපි හැඩ ගැහීම හෝ ඒ කෙනා අපේ විදියට හැඩ ගැහීම එකිනෙකා අතර අවබෝධය අවංකකම තියෙනවා නම් ඒ ආදරය රඳා පවතිනවා. මම ආදරෙයි කියලා බොරුවට කියලා වැඩක් නැහැ.

විවාහ වෙන්න ඕනේ කියලා හිතිලා නැද්ද?

දැන් විවාහ වෙන්න ඕනේ, මගේ වයස යනවා කියලා විවාහ වෙන්න කැමති නැහැ. මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ලැබුණු දවසට මම විවාහ වෙයි. මම කැමති නැහැ කසාද බැඳලා ඩිවෝස් වෙන්න. සමාජයෙන් ප්‍රශ්න අහනවට මම බඳින්න කැමැත්තක් නැහැ. මේ මගේ ජීවිතේ නිසා හරිම කෙනා ලැබුණොත් බඳියි. නැත්නම් නොබැඳ ඉඳියි. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.

ශලනිව හැමදාම රංගනයෙන් දකින්න ලැබෙයිද?

ඒක හරියටම කියන්න බෑ. මම මුල ඉඳන්ම කියපු දෙයක් මම විවාහ වුණොත් රංගනයෙන් ඈත් වෙයි කියන එක. ඒ දේවල් කොහොම විසඳෙයිද කියන්න බෑ. සියල්ල කාලයට බාරයි.

ආදරණීය ප්‍රේක්ෂකයන්ට ශලනි දෙන පණිවිඩය මොකක්ද?

කොරෝනා නම් හදා ගන්න එපා. තරුණ මහලු කියලා නැහැ පරිස්සමෙන් ඉන්න. සරලව දැක්කට සරල දෙයක් නෙවෙයි හැදුණට පස්සේ තමා එකේ අමාරුව දැනෙන්නේ. අපි ශක්තිමත් අපිට හැදෙන්නේ නැහැ කියලා පණ්ඩිත කතන්දර කියන්න එපා. එහෙම කිය කියා ඉඳලා හැදුණට පස්සේ ජීවිතෙන් සමුගන්න වුණු අවස්ථාත් තියෙනවා. ලොක්ඩවුන් කිව්වට පාර දිහා බැලුවම ගොඩක් අය මහපාරේ. අපි අපිටම අවංක වෙන්න ඕනේ කාලයක්. එහෙම වුණොත් ඉක්මනින්ම වසංගතය දුරුවෙලා යයි. අනුෂා රණසිංහ
 

More News..