brand logo

වෝටර්ස් එජ් "අයිලන්ඩ් අවන්හල්" කෝටි ගණන් සල්ලි කයි

18 February 2020

රුපියල් හය කෝටි අසූ ලක්ෂයක් වියදමින් බත්තරමුල්ල වෝටර්ස් එජ් ආයතනය එම පරිශ්‍රයේ ආරම්භ කළ ෆ්ලෝරා පාර්ක් අයිලන්ඩ් අවන්හල් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මෙම අවන්හලේ ආහාර ගැනීම සඳහා එක් අමුත්තකුගෙන් රුපියල් විසි දහසක් අය කර ඇති අතර එවන් අයකිරීමකින් අවන්හල පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ නිසි තක්සේරුවක් කර නොතිබූ බව විමර්ශන වාර්තාවේ සඳහන් වෙයි. 2018 වසරේ දී 144 දෙනෙක් පමණක් රුපියල් විසිදහස බැගින් වැය කර මෙම අවන්හලෙන් ආහාර ලබාගෙන තිබිණි. එක් වරක් පැමිණි අමුත්තකු දෙවැනි වර මෙහි පැමිණ නොතිබූ බව පැවසේ. එම තත්ත්වය මත 2019 දෙසැම්බර් මස පළමුවැනිදා සිට ආහාර සඳහා රුපියල් 7500, රුපියල් 6500 හා රුපියල් 5500 වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මුදල් අය කිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතියෙන් 2019 වසරේ දී රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයීම මගින් රුපියල් දෙකෝටි හැටලක්ෂයක දළ ලාභයක් ආයතනය අපේක්ෂා කර තිබූ නමුත් එම වසරේ දී ඉපයීමට හැකි වී ඇති ලාභය රුපියල් ලක්ෂ තිස්පහක් පමණි. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල වසර හයක දී ආවරණය කර ගැනීමට සැලසුම් කර තිබුණ ද පවතින ආදායම් තත්ත්වය මත වැය කළ මුදල ආවරණය කිරීමට විසිපස් වසරක් පමණ ගත විය හැකි යැයි ද එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. මෙම අවන්හල් ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත්තේ වෝටර්ස් එජ් හෝටලයට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ වම්පස දියත උයන අතර පිහිටි පර්චස් 91ක බිම් කොටසකි. එහි බිම සැකසීම සඳහා 2017 වසරේ දී රුපියල් කෝටියක් වෙන් කිරීමට ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර ව්‍යාපෘතියේ ඉතිරි කොටස් සම්පූර්ණ කිරීම වෙනුවෙන් 2018 වසරේ පෙබරවාරි මස දී අනුමත කළ රුපියල් තුන්කෝටි හැටලක්ෂය ජූලි මාසයේ දී රුපියල් හය කෝටි විසි ලක්ෂය දක්වා ද නොවැම්බර් මාසයේ දී රුපියල් කෝටි හත දක්වා ද වැඩි කිරීමට අනුමැතිය දී තිබේ. මෙම තීරණය අනුව වෙන් කළ මුදලින් පසුගිය වසරේ නොවැම්බර් මස 30 වැනිදා වන විට ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර තිබූ මුදල රුපියල් හය කෝටි දහතුන් ලක්ෂයකි. ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 44ක් එනම් රුපියල් තුන්කෝටි එකොළොස් ලක්ෂයක් වැය කර ඇත්තේ ඕකිඩ් පැළ මිලට ගැනීම වෙනුවෙනි. මල් පිපෙන ඕකිඩ් පැළ මිල දී ගැනීම සඳහා ගෙවතු කළමනාකරු තායිලන්තයට යවා ඇති අතර රුපියල් ලක්ෂ අසූ පහක් වැය කර ඕකිඩ් පැළ 16000ක් එරටින් ආනයනය කර තිබිණි. මීට අමතරව රුපියල් දොළොස් ලක්ෂ හතළිස් පන් දහසක් වැය කර ඕකිඩ් පැළ 5090ක් ද රුපියල් හත්ලක්ෂ හතළිස් හතර දහසක් වැය කර ඕකිඩ් බීජ 6180ක් දේශීයව මිලට ගෙන තිබුණු බව ද පරික්ෂණ වාර්තාව හෙළි කරයි. පරීක්ෂණය ආරම්භ වන විට ආනයනික හා දේශීය වශයෙන් මිලට ගත් ඕකිඩ් වර්ග 10කට අයත් පැළ අතරින් මල් පිපී තිබුණේ පැළ 349ක පමණක් යැයි ද වාර්තාවේ සඳහන් වෙයි. මෙම අවන්හල සඳහා හැඳි ගෑරුප්පු ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහතුනක් වෙන් කරගෙන ඇතත් එම අවශ්‍යතාව සපුරා නොගෙන රුපියල් ලක්ෂ දාහතරක් වැය කර විසිතුරු මසුන් මිල දී ගෙන ඇතැයි ද අවන්හල සඳහා රුපියල් කෝටියක් පමණ වැයකර වීදුරු ආවරණ තුනක් ඉදි කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි. මෙම ආයතනය පවතින්නේ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ය.     නිලන්ත මදුරාවල
 

More News..