brand logo

වොලිබෝල් තරුව අවුරුදු කුමාරයා වෙයි

30 June 2020

නම - ලහිරු රශ්මික පාසල - මාදම්පේ සේනානායක විද්‍යාලය මාරවිල සේවියර් විද්‍යාලය ගම - හලාවත ආගම - බුද්ධාගම උස - අඩි 6 අඟල් 3යි ජයග්‍රහණය - දෙරණ අවුරුදු කුමරා (2020) ලහිරුගේ පාසල් කාලේ මතකද? මාදම්පේ සේනානායක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. උසස් අධ්‍යාපනය සඳහා මාරවිල සේවියර් විද්‍යාලයට යනවා. මේ වනතුරු මුළු කාලයම කැප කළේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා. වොලිබෝල් කියන්නේ ජීවිතය වගේ. කොහොමද දෙරණ අවුරුදු කුමරා තරගෙට එන්නෙ? ඒක අහම්බයක්. මගේ අයියා රාවණා නාට්‍යයේ ගිරිබාගේ චරිතයට රඟපානවා. මීට කලින් කිසිම දවසක මෙවැනි වැඩසටහනකට සහභාගි වෙලා නැහැ. අයියා තමා මාව උනන්දු කරලා මෙතෙන්ට යොමු කළේ. ඔබ ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයෙක්? ජාතික කනිෂ්ඨ වොලිබෝල් සංචිතයේ ක්‍රීඩා කෙරුවා. සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් පාසලට රැගෙන එන්න සමත් වුණා. එකම අධිෂ්ඨානය කවදා හරි ජාතික වොලිබෝල් කණ්ඩායමට ක්‍රීඩා කිරීම. අවුරුදු කුමරා තරගයට සූදානම් වුණේ කොහොමද? අයියා 2019 වසරේ අවුරුදු කුමරා තරගයේ අවසන් 12දෙනාට ආවා. අයියා තරගයට හුරුවෙන හැටි මට කිව්වා. කවද්ද මුලින්ම තරගෙට එන්නෙ? මාර්තු මාසේ තමා තරගය පටන් ගන්නේ. තරගකරුවෝ 400ක් විතර ඇවිත් උන්නා. කොහොම හරි අවසාන 12දෙනාට එන්න අවස්ථාව ලැබුණා. මොන වගේ ඉසව්ද තිබුණේ? මුලින්ම අපිව හඳුන්වා දෙන්න තිබුණා. ඊට පස්සෙ වෝක් එකක් තිබුණා. ඉන්පසු දොළොස් දෙනා අවසාන මහා තරගයට සූදානම් කිරීම ඇරඹුණා. චන්දන වික්‍රමසිංහ මහතා තමා අපිව පුහුණු කළේ. නමුත් කොරෝනා තත්ත්වය නිසා තරගය අවලංගු කරන මට්ටමකට ආවා නේද? ඔව්. අවසාන තරගය තියන්නේ නැහැ කියලා තමා කිව්වේ. මොකද කොරෝනා ප්‍රශ්නය මුළු සිංහල අවුරුද්දටම බලපෑවානේ. නැවත රට යථා තත්ත්වයට පත්වුණාම තියමු කිව්වා. අවුරුදු කුමරා ඔන්ලයින් තරගයක් බවට පත්වෙන්නේ කොහොමද? අප්‍රේල් 14 තමයි අවසාන තරගය පවත්වන්න තීරණය කරලා තිබුණේ. නමුත් දවස් තුනකට කලින් අපිව දැනුවත් කළා අවසාන තරගය ඔන්ලයින් ක්‍රමයට පත්වනවා කියලා. දෙරණ නාලිකාව කිසිම දෙයක් ලේසියෙන් අත්හරින නාලිකාවක් නෙවේ. මෙවර ඔන්ලයින් ක්‍රමයට හරි අවුරුදු කුමරා තරගය පැවැත්වුණේ දෙරණ නාලිකාවේ විතරයි. කොහොමද දින තුනකින් සූදානම් වුණේ? අපිට විශේෂ දෙයක් කරලා එවන්න තිබුණා. ඒකත් අපිව හඳුන්වාදෙන වීඩියෝ එකක්. අනිත් එක අපේ විනෝදාංශ ගැන සඳහන් කරන එක. විනාඩි දෙකකට සීමා කරන්න කිව්වා. ඔබ තෝරාගත්තේ කුමක්ද? මගේ විනෝදාංශය තමයි වගා කිරීම. මම පරිසරයට හුඟක් ලැදි කෙනෙක්. පැළයක් හිටවන අවස්ථාවක් තමා මම ඉදිරිපත් කළේ. මොකද හිතුණේ අනිත් අයගේ දක්ෂතා නරඹන කොට? තරගය පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමයට නිසා අපේ ඉසව්වත් සමගම මුළු තරගයම නරඹන්න අවස්ථාව ලැබුණා. මමයි අම්මයි, අයියයි ගෙදර ඉඳන් බැලුවේ. වේදිකාවෙ ඉන්නකොට දැනෙන ස්පන්ධනය ගෙදර සාලේ ඉන්නකොටත් ඒ ආකාරයෙන්ම දැනුණා. ජයග්‍රහණය ලැබෙයි කියලා හිතුවද? මුලින්ම හිතාගන්න බැරි වුණා. නමුත් අවසාන මොහොත වෙනකොට හිතුණා මම දිනයි කියලා. පුදුමාකාර සතුටක් දැනුණේ. අනික ඒක පුදුම කරවන ජයග්‍රහණයක්. මම ගෙදර ඉඳන් නරඹනකොට මටම පේනවා මම ජයග්‍රහණය කරනවා. මෙවැනි ජයග්‍රහණයක් ලද එකම අවුරුදු කුමාරයා මම වෙන්න ඇති. ජයග්‍රහණය ලැබුණ මොහොත නැවතත් මතක් කරන්න... හැම කෙනෙක්ම මට කතා කරලා එක දිගට විෂ් කරනවා. දෙරණ ආයතනයට මා සජීවීව සම්බන්ධ කරගන්න අමාරු වුණා සුබපැතුම් ඇමතුම් නිසා. එක දිගට ඇමතුම් සීයක් විතර ආවා. විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාර කොහොමද? නිල්මිණි තෙන්නකෝන් සහ දමිතා අබේරත්න තමයි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ. ඔවුන් හොඳ ප්‍රතිචාර ලබාදුන්නා. අනිත් අය ඔබට අභියෝගයක් නොවුණේ කොහොමද? ගොඩක් අය තෝරගත්තේ සින්දු, නැටුම් වැනි ක්‍රියාකාරකමක්. මොකද එතෙන උන්න අනිත් අය මියුසික් වීඩියෝවලට හා ෆොටෝ ෂූට්වලට ඉදිරිපත් වෙලා උන්න අය. නමුත් මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මම කළේ වොලිබෝල් ගහනෙක විතරයි. මම හිතන්නේ පැළයක් සිටුවීම වැනි මේ කාලයට ගැළපෙන වෙනස් දෙයක් තෝරගත්ත නිසා මට අවස්ථාවක් ලැබෙන්න ඇති. වොලිබෝල් ක්‍රීඩාව නතර කරන්න වෙයිද? අපෝ නැහැ. වොලිබෝල් කියන්නේ මගේ ජීවිතෙන් කොටසක්. කොහොම හරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ප්‍රධාන තරගයක් උත්සවයක් නොතිබීම ඔබට අවාසියක් නොවේද? මම හිතනවා ඒක වාසියක් කියලා. ඇඳිරි නීතිය නිසා මෙම තරගය මුළු ලංකාවම නැරඹුවා. අනිත් නාලිකාවල අවුරුදු කුමාරයා තරගය නොතිබුණ නිසා දෙරණ නාලිකාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. මම හිතන්නේ ප්‍රධාන තරගයක් නොතිබුණ එක වාසියක් කියලා. අවුරුදු කුමරා තරගයේ ජයග්‍රහණය තීරණය කළේ එස්.එම්.එස්.වලින් නෙමේද? එය එස්.එම්.එස්. සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් තමා ප්‍රතිඵල ලබාදුන්නේ. මම හිතනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විනිශ්චය මණ්ඩලයේ කැමැත්තත් මට ලැබුණා. තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් අතරේ මම ජනප්‍රියයි. ප්‍රේමය ගැන මොකද හිතෙන්නෙ? තාම මම ඉස්කෝලේ ගිහින් ඉවර වුණා විතරයි. ලොකු ගමනක් යන්න තියනවා. දැන් මම හිතන්නේ මගේ අනාගතය ගැන විතරයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන
 

More News..