brand logo

වෛරසය වැලඳුණු 328ක් දැන් සුවෙන්

03 February 2020

නව කොරෝනා වෛරසය ආසාදනය වී නැවත සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනය (02 වැනිදා) වන විට 328ක් බව චීන පුවත් සේවා වාර්තා කරයි. චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ වාර්තා උපුටා දක්වන චයිනා ඩේලි පුවත් සේවය පෙන්වා දෙන්නේ එසේ සුවය ලැබූවන්ගෙන් 85 දෙනකු රෝහල්වල සිට නිවෙස් බලා පිටත්කර ඇති බවයි. ආසාදිතයන් බහුලව වාර්තාවන හූබෙයි ප්‍රාන්තයේ මෙලෙස සුවය ලබා නිවෙස් කරා නැවත යොමු කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 49කි. නව කොරෝනා වෛරසය මේ වනවිට ස්වතන්ත පරිපාලන ඒකකයක් වන ටිබෙටය ඇතුළු චීනයේ සෑම ප්‍රාන්තයකටම ව්‍යාප්තව වී ඇත. ඊයේ (02 වැනිදා) දිනය වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 14,380ක් ලෙස ලොව පුරා වාර්තා වූ අතර ඉන් 304 දෙනකු මරණයට පත්ව ඇත. රෝග ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 9074ක් වාර්තා වී තිබේ. එහි මියගිය සංඛ්‍යාව 294කි. හුබෙයි ප්‍රාන්තයේ වූහාන් ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන්ම දින නවයක් ඇතුළත ඉදිකළ නව හවුෂන්ෂාන් රෝහල (Huoshenshan Hospital) අද දිනයේ (3 වැනිදා) නිල වශයෙන් ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඊට අනුයුක්ත කර ඇති සෞඛ්‍ය කාර්යමණ්ඩලය 1400කි. මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කර ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් වහාම ආසන්නම ස්ථානයකදී ආදාහනය කළ යුතු බවත්, එම සිරුරු වෙනත් ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම තහනම් බවත්ය. නයන තරංග ගමගේ
 

More News..