brand logo

වෛද්‍ය පර්‌යේෂණායතනයේ PCR වාර්තාවල ගැටලුවක්

10 November 2020

කොවිඩ් වයිරසයට අදාළව වෛද්‍ය පර්‌යේෂණ ආයතනයෙන් නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇතැයි සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ උප සභාපති ඒ. යූ .ටී. කුලතිලක ‘අරුණ’ට ඊයේ (09 වැනිදා) පැවසීය. පසුගිය 20 වැනිදා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් දෙසිය එක් දෙනකුගේ සාම්පල වෛද්‍ය පර්‌යේෂණායතනයට යවා තිබේ. වයිරසය ආසාදනය වී ඇත්තේ ඉන් සිව් දෙනකුට පමණක් යැයි කලින් ප්‍රකාශ කළ එම ආයතනය ඉතිරි පුද්ගලයන් අතරත් ආසාදිතයන් සිටින බවට ඉන් සති දෙකකට පසු යළිත් දැනුම් දුන් බව ද හෙතෙම කීවේය. වෛද්‍ය පර්‌යේෂණායතනය පළමුව වයිරසය ආසාදනය වී නොමැති බවට සෙසු පුද්ගලයන්ට දැනුම් දුන් බවත් දෙවැනි දැනුම්දීමේදී වයිරසය ආසාදිත යැයි පැවැසීම නිසා බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් කුලතිලක සඳහන් කළේය. “වයිරසය ආසාදිත වී නැති බවට අපි කලින් දැනුම් දුන්නාට පස්සේ වෛද්‍ය පර්‌යේෂණායතනයෙන් කියනවා ඒ අය ආසාදිතයි කියලා. අපි කොහොමද යළිත් ඒ අයට කියන්නේ ඔවුන් ආසාදිතයි කියලා. සමහර අය ගහන්නත් එනවා” යැයි ද උප සභාපතිවරයා කිවේය. ආසාදිත නැතැයි කියන වාර්තා කිසිවක් වෛද්‍ය පර්‌යේෂණායතනයෙන් තමන්ට ලබා නොදීම තවත් ගැටලුවක් බවත් හෙතෙම පැවසීය. නිලන්ත මදුරාවල
 

More News..