brand logo

වෛද්‍ය ආනන්දට එරෙහි නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ඔක්. 03 වැනිදා

19 September 2019

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම ඔක්තෝම්බර් මස 03 වනදා තෙක් කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (19) නියෝග කළේය. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයෙකු අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටින හෙයින් මෙම නඩුවේ මූලික විරෝධතා පිළිබඳ කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙය ඉතා අසතුටුදායක තත්ත්වයක් බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අද දින යොදා ගනු ලැබුවේ විත්තියේ නීතිඥවරයා ලබාදුන් දින අනුව බව සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමට තිබෙන අයිතිය සැලකිල්ලට ගෙන මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 3 වනදා දිනය ලබාදෙන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය. 2012 වසරේ මැයි මස 17 වනදා කොළඹ, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුදීන්ගේ මළ සිරුර සොයාගෙන තිබුණි. මෙම මළ සිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණ ද ඔහු එම කාර්යයට සක්‍රීය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙදෙනෙකු ලවා එය සිදු කොට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය විය. පසුව මෙම මළසිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඉන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙම පරීක්ෂණයට අදාල වැදගත් සාක්ෂියක් විනාශ කළේ යැයි චෝදනා කරමින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇත. අධිකරණ වාර්තාකරු
 

More News..