brand logo

වේවැලකින් ගසා දැරියක් මියයාමේ සිද්ධියට දෙදෙනෙකු රිමාන්ඩ්

01 March 2021

දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දී දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව ලබන මාර්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ, මහර අධිකරණය හමුවට අද (01) මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි. දේවබලයෙන් ශාන්තිකර්ම සිදුකරන බව කියන කාන්තාවක විසින් පෙරේදා (27 වැනිදා) අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට බව පවසා එල්ල කළ වේවැල් ප්‍රහාර කිහිපයක් නිසා නව හැවිරිදි දැරියක් මියගොස් තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් රිස්කාෂ් පාතිමා නමැති දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි. දියණියට ආරූඪ වූ යක්ෂණියක් පලවා හැරීමට යැයි කියමින් දැරිය ඉහත කාන්තාව වෙත රැගෙන ගොස් ඇත්තේ ඇගේ මව විසිනි. සැමියා හැර ගිය නිසා මියගිය දියණිය ඇතුළු දරු තිදෙනකු සමග මව දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත. දෙවැනි දියණියට කලක සිට මියගිය මිත්තණිය ආරූඪවී ඇතැයිද ඇය මිත්තණියගේ හඬින් කතා කළ බවද මව මීගහවත්ත පොලිසියට පවසා ඇත. ප්‍රදේශයේ කාන්තාවක විසින් මෙවැනි අසනීප සුව කරන බවට දැනගත් නිසා පසුගිය 27 වැනිදා රාත්‍රි 9.00ට පමණ දියණිය සමග ඇය හමුවීමට ගිය බවද මව පොලිසියට පවසා ඇත. දැරියට ආරූඪ වී ඇති අමනුෂ්‍ය දෝෂය ඉවත් කිරීම සඳහා එම තැනැත්තියගේ උපදෙස් මත ඇය සහ මව එකතුවී එම දරුවාට තුවාල සිදු වනතුරු වේවැලකින් පහරදී සිහිසුන් වූ පසු ත්‍රිරෝද රථයකින් දැරිය බියගම රජයේ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඒ වන විටත් දැරිය මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
 

More News..