brand logo

වෙළඳසැලකට කඩාවැදී කොල්ල කෑ දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඬුවම්

26 November 2019

වෙළඳසැලකට කඩාවැදී අවි ආයුධ පෙන්වා එහි හිමිකරු හා සේවකයින් බියගන්වා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙර වැරදි සහිත විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද (26) බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඬුවම් නියම කළේය. මෙම විත්තිකරුවන් දෙදෙනාට පෙර වැරදි පවතින හෙයින් ඔවුන්ට මෙලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 90000/-ක් බැගින් දඩ ද නියම විය. 2014 වසරේ මහරගම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට කඩාවැදී ගිනි අවි පෙන්වා සේවකයන් බියගන්වා රන්භාණ්ඩ සහ රුපියල් 148000/- ක මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් සුරංග පෙරේරා සහ නිශාන්ත පෙරේරා නමැති විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව ඔවුන්ට මෙම දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය. (අධිකරණ වාර්තාකරු)
 

More News..