brand logo

වෙසක් පොහොය සමයේ සුරා බදු නිලධාරීන් කළ වැටලීම් වලින් 754ක් අත්අඩංගුවට

20 May 2019

වෙසක් පොහොය සමයේ සුරා බදු නිලධාරීන් විසින් දිවයින පුරා වැටලීම් 756 ක් සිදු කර ඇති අතර,එහිදී සැකකරුවන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි. වෙසක් සමය නිමිත්තෙන් පසුගිය 17 වැනිදා සිට දිවයින පුරා පිහිටි සියළුම බලපත්‍ර ලත් මත් පැන් අලවි සැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.එම සමය තුළ දිවයින පුරා සිටින සුරාබදු නිළාධාරීන් 1200 ක් පමණ යොදවා වැටලීම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඒ අනුව පසුගිය 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පමණක් සිදු කරන ලද වැටලීම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.20 වැනිදා දවස පුරාද වැටලීම් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම වැටලීම් වලදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ලද ස්ථාන 18 ක්,නීති විරෝධී ලෙස මත්පැන් අලවි කළ ස්ථාන 264 ක්,නීති විරෝධී ලෙද නිෂ්පාදනය කරන ලද මත්පැන් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ස්ථාන 313 ක් ද සුරාබදු නිලධාරීන් විසින් වටලා ඇත.සීමාව ඉක්මවා මත් පැන් ළග තබා ගෙන සිටි ස්ථාන 111 ක්ද,වෙනත් මත්පැන් සම්බන්ධ වැරදි 01 ක්ද ග්‍රහානය කර ඇත.මෙම වැටලීම් වලදී පුද්ගලයින් 707 දෙනෙකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ගංජා ළග තබා ගෙන සිටි පුද්ගයින් 14 දෙනෙකු,හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි පුද්ගලයින් 11 දෙනෙකු,වස විෂ අබිං සහ අන්තරාදාය මත් ද්‍රව්‍ය ආඥා පනතට අනුව වෙනත් වැරදි සිදු කළ පුද්ගලයින් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 කුව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි ළග තබා ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය කළ පුද්ගලයින් 02 කුවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව රජයේ මත්පැන් අලවි කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන ඇති ස්ථාන 02 ක්ද වැටලීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.රජයේ මත් පැන් අලවි කිරීම සදහා රජයේ බලපත්‍ර ලබා ගෙන තිබූ කුරුණෑගල - පැල්ලන්දෙණිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් සහ නාවුල - බිබිල මංසන්ධියේ පිහිටි බියර් අලවි සැළක් ඒ ආකාරයට සුරාබදු නිලධාරීන් විසින් වටලා ඇත. සුරාබදු නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ එම බලපත්‍ර ලත් ස්ථාන දෙකට එරෙහිව කටයුතු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ වන තුරු එම සංචාරක හෝටලයේ සහ බියර් අලවි සැලේ අලවිය තහනම් කර එම ස්ථාන මුද්‍රා තැබීමටද සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇත. මෙම වැටලීම් වලදී රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනාකමක් ඇති මත්පැන්,නීති විරෝධී ලෙස නිපදවන ලද මත්පැන්,ගෝඩා,කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. මේ දිනවල පවතින ආරක්ෂක තත්ත්වය සහ වෙසක් සමය කේන්ද්‍ර කරගෙන වැටලීම් සිදු කළ බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කර සිටී. ජූඩ් සමන්ත
 

More News..