brand logo

වෙසක් එකට පෙර කසිප්පු මැඬලන්න පුළුවන් වෙයිද?

18 March 2019

ජාවාරම්කරුවන් කියන විදිහට, කසිප්පු වූ කලී වියදම් කරන සමස්ත මුදලෙන් හතරෙන් එකක් ලාභ ඉපයිය හැකි කර්මාන්තයකි. එබැවින් පොලිසිය ඔස්සේ උසාවියෙන් කෙතෙක් දඩ ගැසුම් කෑවද කිසිවෙක් කසිප්පු ජාවාරම අත්හරින්නේ නැත. ‘‘කඳානේ කළුවා’’ හෙවත් ‘‘කළු අජිත්’’ ද එවැන්නෙකි. ‘‘කළුවා’’ යනුවෙන්ද ප්‍රකටව සිටින හෙතෙම තම ජාවාරමට සුඛෝපභෝගී වාහන මෙන්ම බෝට්ටු හා ඔරු පාරු පවා යොදා ගන්නා තැනැත්තෙකි. කළුවාද කිහිප වරක්ම පොලිසියට කොටු වී දඩ ගැසුම් කෑවේය. එහෙත් කාලයක් කඳානෙන් පිටව සිටි ඔහු දකුණු පළාතෙන් මතුවූයේ කසිප්පු ජාවාරමද සමගිනි. ගමට සමාජයට මහත් ව්‍යසනයක් ඇති කරන මත් ජාවාරම වන්නේ කසිප්පුය. කසිප්පුවලට ඇබ්බැහි වූ පියවරුන් හෝ තරුණයන් සිටින ගම්වල අයට සිදුව ඇත්තේ මහත් අසහනයෙන්, දුප්පත්කමින් මිරිකෙන ජීවිත ගත කරන්නටය. පොලිසිය කොතෙක් වැටලීම් කළද කසිප්පු ජාවාරම සදහටම නතර කරන්නට නොහැකිව ඇත්තේය. එය පොලිසිය හා ගත් විට ‘‘ගහට පොත්ත’’ මෙනි. පොලිසියත් කසිප්පු අල්ලනවාය. ජාවාරම්කරුවන්ද උසස් දඩ ගෙවා පැමිණ යළිත් කසිප්පු පෙරනවාය. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කසිප්පු සම්බන්ධයෙන් පොලිසියට අවසන් නිවේදනයක් නිකුත් කළේය. එයින් කියැවුණේ ලබන වෙසක් පෝයට පෙර කසිප්පු උවදුර සමාප්ත කරන ලෙසයි. කෙසේ වෙතත් අකුරටම කරන්නට හැකිවේද යන්න ගැටලුවකි. මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් බොහෝම දෙනෙක් දේශපාලනඥයන් සහ පොලිසිය සමගද සබඳකම් පැවැත්වීම, ඊට හේතුවයි. ලංකාවේ මීගමුවේ සිට වත්තල දක්වා කලාපය දේශපාලන හා පොලිස් බලයෙන් කසිප්පු ජාවාරම ව්‍යාප්ත වුණු ප්‍රදේශ ලෙස සැලකෙයි. එපමණක්ද නොවේ. මාරවිල, වෙන්නප්පුව, දංකොටුව සිට හලාවත දක්වා කලාපයද මීටම අයත් කළ හැකිය. ඒවායෙහි හොරට පෙරන කසිප්පු ප්‍රකටව ඇත්තේ ‘‘දංකොටුවේ බඩු’’ හෝ ‘‘දංකොටුව ස්පෙෂල්’’ යන අපර නම්වලිනි. ‘‘සති අග අරුණ’’ ලංකාවේ කසිප්පු ජාවාරමෙහි හැඩතල ගැන තොරතුරු සොයන්නට උත්සාහ කළේ ද එබැවිනි. පොලිසියෙන් වැටලීම නිසා කඳානෙන් දකුණට පලා ගියද, ‘‘කඳානේ කළුවා’’ ද ජාවාරම නතර කරන්නේ නැත. දකුණු පළාතේ තෝරා ගත් ස්ථානවලින් නිවාස කුලියට ගන්නා කඳානේ කළුවා යළි කසිප්පු ජාවාරම පටන් ගනියි. ඔහු නිවාස කුලියට ගෙන පිටතට නොපෙනෙන ලෙස මාස ගණන් කසිප්පු ලීටර් දහස් ගණන් පෙරන්නේ ගෑස් ළිප් යොදාගෙනය. පිටස්තරයන්ට ගඳ වහනය වදින්නට නොදී ස්කාගාරයක් මෙන් සකසා ගෙන කසිප්පු පෙරා බෙදාහරින්නේ කළුවාගේ මෙහෙයවීමෙනි. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් වටලනතුරුම කළුවා අගුණකොලපැලැස්සේ නිවසක ස්කාගාරය පවත්වාගෙන ගියේය. ජාවාරම්කරුවන් කිසිම විටක කසිප්පු පෙරන්නට නොපැමිණෙන ආකාරයට කළුවාත් කිසිම මොහොතක කසිප්පු ස්කාගාරය වෙත පැමිණියේ නැත. පොලිසිය පැන්නත් උසාවියට ගියේ කළුවා වෙනුවෙන් කඩේ යන ගෝලයන්ය. කළුවා කසිප්පු ඇද්දේත් රාජ්‍ය අංශයේ පමණක් ඇති ඩේලිකා වර්ගයේ වාහනයකින්ය. ‘‘ජාඇල ලයින් එකේ කසිප්පු පෙරපු අය මීට වසර ගණනකට පෙර ඉඳන් මේ බින්සන් එක කරන්නේ. ඒ සියලු දෙනාට හයියට හිටියේ පළාතේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක්. ඒ කාලේ උන්ගේ තිප්පොළවල් තියා වාහනයක්වත් අල්ලන්නට පොලිසියට ඉඩක් දුන්නේ නැහැ. ඇමැති කෝල් කරනවා. ඇමැතිගේ උෂ්ණෙන් උන්, ඔක්කොම කසිප්පු විකුණලාම සල්ලිකාරයා වුණා’’ යැයි නම සඳහන් කිරීමට අකැමැති කිහිප දෙනකුම අරුණට පැවසූහ. කොච්චිකඩේ සිටින වෙන්නප්පුවේ ශාන්ති කසිප්පු ජාවාරමේ හිනි පෙත්තටම ගිය තැනැත්තියකි. ඇයත් ගෝල බාලයන් යොදාගෙන මහා පරිමාණයෙන් කසිප්පු පෙරා පොහොසත් වූ කතකි. වරකට බැරල් සීයයක් පමණ ශාන්තිගේ තිප්පොළවල පෙරෙන්නේය. මහා පරිමාණයෙන් වාහනවලින් තදාසන්න ප්‍රදේශවලට කසිප්පු තොග විකිණීමේ ශාන්තිගේ බෙදාහැරීමේ ජාලයක් තිබිණි. කසිප්පු විකුණා ජීවිතය ජයගත් ශාන්ති අවසානයේ බස් රථ දහයකද හිමිකාරියක වූවාය. අදටත් ශාන්ති කසිප්පුවලට වෙන්නප්පුවේ නමක් දිනාගෙන සිටින්නියකි. මීගමුව, කොච්චිකඩේ, මෝයකට ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවන් අතර, ‘‘හේනමුල්ලේ බේබි’’ නමැත්තා ප්‍රමුඛයෙකි. කටාන, ‘‘වීදියවත්තේ චමින්ද’’ සහ ‘‘සීදුවේ චමින්ද’’ යන ජාවාරම්කරුවන් වඩාත් ප්‍රකටව සිටින්නේ තැනින් තැනට ගොස් ජංගම ස්කාගාර පවත්වන්නන් හැටියටය. මීගමුව, කොච්චිකඩේ සහ වෙන්නප්පුව ආදී ප්‍රදේශවල බොහෝම දෙනෙක් පදිංචිව සිටින්නේ ඉතාලිය ඇතුළු යුරෝපා රටවලය. ඔවුන්ගේ මෙරට නිවාස කුලියට ගෙන කසිප්පු ජාවාරම් කිරීම ඔවුන්ගේ සිරිතයි. එහිදී ඔවුන් ගෝඩා සකස් කර පදම් කරන්නේ වෙනත් තැන්වලය. ඉන්පසුව ඒවා කුලියට ගත් නිවස්වලට ගෙන එන්නේ බූලි පිටිනි. ඉක්බිති විශාල ප්‍රමාණයේ සිලින්ඩර් යොදා ගෑස් මගින් කසිප්පු පෙරති. නිවෙස්වල කසිප්පු පෙරීමේදී නළ පද්ධති පවා සවි කර ගැනීම, වීදියවත්තේ චමින්ද සහ සීදුවේ චමින්ද යන ජාවාරම්කරුවන්ගේ සිරිතයි. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මුතුරාජවෙල ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු මුදලාලිල අතර, ඒකල පදිංචි ‘‘ඉඳිගොඩ ලක්ෂ්මන්’’, ‘‘ඉඳිගොඩ අමිත’’ සහ ‘‘පිනිගොඩ බබා’’ ආදීහු මහත් ප්‍රසිද්ධියක් උසුලති. ජාඇල සීදුව සහ මුතුරාජවෙල සීමාව ඔවුන්ගේ කසිප්පු පෙරන රාජධානියයි. මීගමුව, ‘‘ඒත්තුකාලේ ඩිලානි’’ කසිප්පු බෙදාහරින්නේ දවස පුරාම බලපත්‍ර ඇති අයකු ලෙසය. යකඩ දොරවල්වලින් වසා ගත් නිවෙස් තුළ කවුළුවලින් ඇනවුමට අනුව කසිප්පු බෙදන්නේත් මොවුන්ය. හදිසියේවත් පොලිසිය පනිනවා නම් වහලයෙන් පැනිය යුතුය. එවන් අවස්ථාවලදීම කසිප්පු සියල්ල නානකාමර තුළ හලා අත්අඩංගුවට ගන්න කිසිවක් ඉතුරු කරන්නේවත් නැත. කොච්චිකඩේ මධුවන්ත කසිප්පු ජාවාරම කරගෙන යන්නේ වසර හත අටක පටන්ය. කැලෑ ප්‍රදේශවල සිට බැරල් පිටින් පෙරා තොග වශයෙන් බෙදා හැරීම මධුවන්තගේ ජාවාරමයි. කඳානේ කැලුම් කසිප්පු ව්‍යාපාරයෙන්ම සුපිරි ජීවිතයක් ගත කරන්නෙකි. තට්ටු නිවාසවල සැපවත් ජීවිතයක් ගත කරන කැලුම් එක පේලියට කසිප්පු බැරල් තිස් නවයක් පවා පෙරන්නෙකි. ජාඇල, මීගමුව තීරයේ කසිප්පු ජාවාරමුන්ගේ තිප්පොළවල් ගැන වැඩිපුරම හෙළි කරන්නට අප සිතුවේ මේවා පසුපස සිටින ජාවාරම්කරුවන් කිසිවිටෙක හසු නොවන නිසාය. මොවුන් ගෝල බාලයන් බිල්ලට දී තම ඇඟ බේරාගෙන යහතින් සිටින්නවුන්ය. කසිප්පු ජාවාරමෙන් උපයා ගත් මුදලින් බොහෝ දෙනෙක් හයිබ්‍රිඩ් කාර් මිලදී ගෙන තිබේ. ඒ කසිප්පු ප්‍රවාහන කරනු පිණිසය. ඒවායෙහි පසුපස ‘‘සොකැබ් සෝබර්’’ ඔසවා කසිප්පු ප්‍රවාහනයට සකසා තිබේ. කසිප්පු ජාවාරම ගැන කතා කරන විට දේශපාලන බලයද ඇතිව කසිප්පු පෙරූ බලකොටුවක් ලෙස දැරණියගල නූරියවත්තේ අතකොටාගේ බලකොටුවද හැඳින්විය හැකිය. බස්නාගල සහ නූරියවත්ත යන ප්‍රදේශවල ජල සම්පාදන මණ්ඩලයේ වතුර බට හරස්කර ප්‍රසිද්ධියේ කසිප්පු පෙරුවේ අතකොටා ප්‍රාදේශීය සභා සභාපති වූ නිසාය. අතකොටාගේ ගෝලයන් කසිප්පු බී නූරියේ තරුණියන් රජයේ ඩිස්පෙන්සරියේ පවා තබා දූෂණය කළහ. එය කාන්තාවන්ට වද දුන් වධකාගාරයක් බවට පත්විය. නූරියවත්තේ වතු අධිකාරී ඝාතනයට අතකොටා ඇතුළු ගෝලයන් හිරේට ගිය පසු නැවතුණ කසිප්පු ජාවාරම යළිත් අතකොටාගේ අක්කා කසිප්පු රංජනී විසින් අරඹා ඇති වග ගම්මු පෙන්වා දෙති. පොලිස් විශේෂ කාර්ය බළකාය එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය පසු අත කොටාගේ සෙවණැලි යළිත් රජ කරන්නට ගත්තේ කසිප්පු ජාවාරම සමගය. ඔවුන්ගේ කසිප්පු තොග වශයෙන් කෝවිල ළඟ ලයින් තුන, වත්තේ දලු මඩුව පසුපස සිරියගේ කඩය පසුපස විකුණන්නේ වත්තේම ගෑනු පිරිමින් යළි කසිප්පු සංහාරයකට ලක් කරමින්ය. පොලිසියටත් අල්ලන්නට බැරි රට වටේම සිටින කසිප්පු ජාවාරමේ තෝරුන් මෝරුන් ගැන දිගින් දිගටම අනාවරණය කිරීමට අප ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ වෙසක් පෝය වෙද්දී කසිප්පු ජාවාරම නවතිනවාද යන්න සොයා බලමින්ය. කටු කම්බි, සිමෙන්ති, වේදනා නාශක පෙති, බැටරි කූරු වැනි දෑ යොදා පෙරන කසිප්පුවල මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ ඇතුළත්ය. කසිප්පු විෂ වී මියයන පුද්ගලයන් ගැන කියවෙන්නේද මේ නිසාය. රජයේ සුපරීක්ෂණය යටතේ සීල් අරක්කු නිෂ්පාදනය කළද රටේ නීතිවිරෝධී කසිප්පු වැනි දෑ කිසිදු ප්‍රමිතියකට තොරව නිපදවීම සිදුවන්නේය. කසිප්පු බී රෝගී වන සියලු දෙනා සුවපත් කරන්නට රෝහල්වලින් වැය කරන්නේද මහජන මුදල්ය. ජාඇල වගුරු බිම් ආශ්‍රිතව සිදුවන ජාවාරම් කාලයක් තිස්සේ මැති ඇමැතිවරුන්ගේ රැකවරණය මැදම පවත්වාගෙන ගිය තිප්පොළවල්ය. ජාඇල සිට ගම්පහට යද්දී තැන් සියයක පමණ කසිප්පු පෙරුවේ කජු ලෙලි යොදාගෙනය. ජාඇල එයාර් ෂෝස් අජිත්, කඳානේ කළුවා, කටාන දාගොන්නේ ලාල්, වෙන්නප්පුවේ ශාන්ති, කොච්චිකඩේ මධුවන්ත, හේනේමුල්ලේ බේබි, කඳානේ කැලුම්, ඒත්තු කාලේ ඩිලානි, හේනේමුල්ලේ බේබි එවැනි මහා පරිමාණයෙන් කසිප්පු පෙරන ව්‍යාපාරිකයන් අදටත් යහතින් සිටියි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කොට්ඨාස දින රැස්වීමේදීත්, පොලිසිය ග්‍රාම නිලධාරීන් කැඳවා මත් උවදුර ගැන කතා කරන්නට කාලය වැය කළත් ලබාගත් ප්‍රතිඵල අඩුය. ගමේ ප්‍රශ්නය එලෙසමය. කසිප්පු ජාවාරම්කරුවන් කෙතරම් සූක්ෂ්මද යත් පාසලේ කැන්ටිමත් කසිප්පු පෙරීමට යොදා ගත්තේය. එම කසිප්පු ස්කාගාරය හමුවන්නේ පුලතිසිපුරවරයේ හිඟුරක්ගොඩ පාසලකින්ය. පාසලේ කැන්ටිම කරගෙන ගිය ආදි ශිෂ්‍ය්‍යකු විසින්ම පාසලේ කැන්ටිමේ කසිප්පු පෙරා තොග වශයෙන් බෙදාහැර කලක් තිස්සේ කරගෙන ගිය මෙම ජාවාරම අතටම අල්ලා ගන්නේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්ය. කසිප්පු රටින් තුරන් කිරීම අද රට හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්වන්නේ මෙවන් වටපිටාවකය. එම අභියෝගය වෙසක් පෝයට කලින් ජයගන්නට පොලිසියට නියෝග ලැබෙන්නේ රටේ ජනාධිපතිවරයාගෙන්ය. පොලිසිය එය ඉටුකරනතුරු අප අවදියෙන් ජාවාරමුන් ගැන හෙළිකරන්නෙමු. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..