brand logo

වෙරළ ඛාදනය අවම කරන ලොව පිළිගත් හොඳම ක්‍රමය වැලි පිරවීමයි

02 June 2020

ගල්කිස්ස වෙරළ තීරයේ වැලි පිරවීමෙන් පසු මෙරටට බලපෑ කුණාටු තත්ත්වයත්,මෝසම් තත්ත්වයත් හේතුවෙන් එම පිරවුමෙන් යම් වැලි ප්‍රමාණයක් ඉවත්වූ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක පැවසීය. ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු නිලධාරීන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (01 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රධාන ඉංජිනේරුවරයා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවද සහභාගි විය. මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතිය සැලසුම් කළේ වෙරළ ඛාදනය අවම කිරීම සඳහායි. 2017 වසරේදී බලපෑ ගංවතුර නිසා කළුතර, කැලිඩෝ වෙරළ තීරය විශාල ලෙස ඛාදනයට ලක්වුණා. ඒ වගේම,රත්මලාන,අඟුලාන වෙරළ කලාපය වගේම ගල්කිස්ස වෙරළ කලාපයත් ඛාදනයට ලක්වුණා. ගල්කිස්ස වෙරළ තීරයේ වැලි පිරවීම සඳහා රුපියල් මිලියන 110ක පමණ මුදලක් වැයවුණා. මෙලෙස පුරවන ලද වැලි වැටියට මුහුදු රළ වැදුණු පසු ඒ වැලි ටික වැල්ලවත්ත පැත්තට ගසාගෙන ගොස් මීටර් 15 ක පමණ වෙරළක් නිර්මාණය වීමට නියමිතයි. ගල්කිස්ස,රත්මලාන-අඟුලාන සහ කළුතර, කැලිඩෝ මුහුදු කලාපය ආශ්‍රිතව වැලි පුරවා, නව වෙරළ කලාපයක් ඉදිකිරීම සඳහා 2019 වසරේ මැයි මාසයේ 08 වැනිදා කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර සමාගමක් යොදාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මේ වසරේ ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහාම වැයවූයේ රුපියල් මිලියන 890 ක මුදලක්. ගල්කිස්ස මුහුදු කලාපය ආශ්‍රිතව වැලි කියුබ් 150,000 ක් පුරවා නව වෙරළ කලාපය සකස් කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කළුතර ප්‍රදේශයේ වැලි නිධියකින්. වැලි මීටර් කියුබ් ලක්ෂ 08 ක් සමස්ත ව්‍යාපෘතියටම යොදා ගත්තා. කැලිඩෝ වෙරළ තීරය පිරවීමේ කටයුතු පෙබරවාරි මස 29 වැනිදා ආරම්භ කර අප්‍රේල් 22 වැනිදා වන විට ගල්කිස්ස වෙරළ කලාපය පුරවා ව්‍යාපෘතිය අවසන් කළා. මේ ව්‍යාපෘතිය දවසේ පැය 24 තුළම ක්‍රියාත්මක වුණා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මාස 03ක කාලයකදී මෙම ව්‍යාපෘතිය අවසන් නොකළා නම් ගිවිසුමට අනුව වැඩිපුර එක පැයකට රුපියල් ලක්ෂ දෙකක් අදාළ විදෙස් සමාගමට ගෙවන්න සිදුවෙනවා. වෙරළ ඛාදනය අවම කිරීමට ලෝකය පිළිගත් හොඳම පාරිසරික විසඳුම තමයි මෙලෙස වැලි පිරවීම. ලංකාවේ මෙම තාක්ෂණය නෑ. වැලි ගන්න යන්ත්‍රය සඳහා රුපියල් බිලියන 04 ක් වෙනවා .දේශීය කොන්ත්‍රාත්කරුවන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ නෑ. වෙරළ ඛාදනයට පිළියම් යෙදීමේදී එහි සම්පූර්ණ බලය තිබෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. මෙලෙස වැලි නිධිවලින් වැලි ලබා ගැනීමේ කටයුතුවලදී මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර අදාළ අනුමැතීන් ලබා ගත් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක අදහස් දක්වමින් මෙසේ පැවසීය. සමතුලිතතාව රැක ගැනීම සඳහා වෙරළ විසින් වෙරළ ඛාදනය කරගන්නවා. මෙලෙස පිරවූ වැලි උතුරු දෙසට ගමන් කරනවා. වෙරළ ඛාදනයට හොඳම පිළියම තමයි වෙරළ ඛාදනය අවම කිරීම. 1986 වසරේදී මුල් වරට මීගමුව වෙරළත් මෙලෙස පුරවනු ලැබුවා’’ සාලිය කුමාර ගුණසේකර
 

More News..