brand logo

වෙනස්ම හඬකින් ගයන - ෆැලන් ඇන්ඩ්‍රියා

15 September 2020

මම හැමදාම ගායිකාවක් වෙන්න සිහින දැකපු කෙනෙක්. පාසල් ගියේ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට. පාසල් කාලයේදීත් ගුරුවරුන්ගේ ආදරය නොමඳව ලැබුණා. පුංචි කාලේ ඉඳන්ම පාසලේදී හෝ පවුලේ එකතු වීමකදී හැමදාම මං ගීත ගායනා කළා. පාසලේ 4 වසරේ ඉඳන් ම පාසල් බටහිර ගීත කණ්ඩායම් වල සිටියා. එදා ඉඳන්ම මං සංගීතයට සමීපයි. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවකට යොමු වුණා. නමුත් සංගීතය තමයි මට හරියන්නේ කියන එක හැමවෙලේම මට හිතුණා. කලින් ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ සිටි රවී රෝයෙස්ටර්ගේ ගායන විලාසය සහ නව සංගීත සංයෝජන ගැන උනන්දුවෙන් හිටියේ. ඒ නිර්මාණ දැකලා තමා මට හිතෙන්නේ මේ තරගාවලියට අයදුම් කරන්න. මං රවී අයියගෙන් ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ගැන තොරතුරු දැන ගත්තා. ඒ ලැබුණු විශ්වාසයත් එක්ක තමයි මම ඩ්‍රීම් ස්ටාර් තරගාවලියට එක් වෙන්නේ. තරගාවලි විනිශ්චය ,මණ්ඩලයක් ඉදිරියේ පළවෙනියට ගැයුවේ රයිනි චාරුකාගේ ‘විසික් කෙරුව සිත’ කියන ගීතය . එදා ඉඳන් අද වෙනකල් පියවරෙන් පියවර මම දැන් අවසන් මහා තරගයට ඇවිත් ඉන්නේ. ඒ ආපු ගමන දිහා ආපු හැරිලා බැලුවොත් ඇත්තටම මට හරිම සතුටුයි. ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ කියන්නේ තරගාවලියකටත් වඩා පාඨමාලාවක් වගේ. එතනින් සංගීතය වගේම අපේ මානසිකත්වය ශක්තිමත් කර ගන්නේ, පෞරුෂය වර්ධනය කර ගැනීම වැනි බොහෝ දේවල් ඉගෙන ගත්තා. මේ තරගාවලිය කියන්නේ අපේ ජීවිතයට ලැබෙන බෝනස් එකක්. ගායිකාවක් වෙන්න අවුරුදු ගාණක් කන කට්ට වෙනුවට මාධ්‍ය නාළිකාවක් මගින් ලබා දෙන මේ අවස්ථාව වටිනවා. මේ තරගාවලිය ඇතුළෙදි මං ගායනා කරපු සෑම ගීතයක්ම ජනප්‍රිය වුණා. ඒ අතරින් දේදුනු පාටයි, ඔබගේ රුව මාගේමයි වගේ ගීත ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. මම උමාරියාගේ ගීතවලට තමා වැඩියෙන්ම කැමැති. ඒ කටහඬට සංගීතයේ බොහෝ දේවල් වෙනස් කළ හැකියි. ඒ වෙනස කවදා හරි මමත් කරන්න බලාපොරොත්තු වෙනවා. තරගාවලිය පුරා ලැබුණු විනිශ්චය අතර එක දවසක් මට සමිතා මැඩම් කිව්වා මගේ ගායනයක ආධුනික බවක් තිබුණේ නෑ. ඒ හින්දා මේ වගේ ගීත ගායනා කළොත් අවසන් තිදෙනා අතරට යන්න පුළුවන් වෙයි කියලා. මං අද එතැනට ඇවිත් ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මේ තරගාවලියෙන් එහාට මට ලොකු හීනයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගායිකාවක් විදිහට ජාත්‍යන්තර වේදිකාව තුළ ලාංකේය අනන්‍යතාවයට ගෞරවයක් රැගෙන එක මගේ සිහිනය. ඒ වෙනුවෙන් මං ගොඩක් කැපවෙනවා. තරගාවලියේ පළමු දවසේ ඉඳලාම අවසන් මහා තරගය දක්වා මගේ පසුපසින් සෙවණැල්ලක් වුණු දෙමව්පියන්, මිතුරන් වගේම මගේ කළුතර ගමේ අය, ඒවගේම ශ්‍රී ලංකාව පුරා මට වචනෙකින් හරි උදව්වක්, හයියක් වුණු හැමෝටම ස්තූතියි. ඒවගේම කිරුළ දක්වා යන ගමනේදීත් ඒ හැමෝගෙම ශක්තිය බලාපොරොත්තු වෙනවා. දෙරණ මාධ්‍ය ජාලය සහ ඩ්‍රීම් ස්ටාර් කණ්ඩායමම මේ දක්වා අපිව හොඳ මාර්ගෝපදේශනයක් එක්ක බලා ගත්තා. විනිශ්චය මණ්ඩලයටත් ගොඩක් ස්තූතියි. අවසන් වශයෙන් ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9’ හි සිහින කිරුළ මට දිනා ගන්න ලැබුණොත් සතුටුයි. නමුත් එය නොලැබුණත් ෆැලන් ඊට පසුදා ඉඳලාම ලාංකේය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඉඳියි. ඒ විශ්වාසය මගේ රසිකයින්ට ලබාදෙනවා. චතුර රණසිංහ ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..