brand logo

වෙනදාටත් අපි මහ රෑට වැඩ කරනවා

22 June 2020

කොවිඩ් 19 වසංගතයෙන් රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට කිසිදු යෝජනාවක් මහ බැංකුව ගෙනාවේ නැති බව ජනාධිපතිවරයා කීවේය. වෙනත් රටවල ආර්ථිකය ආරක්ෂා කිරීමට නොයෙක් ක්‍රමවේද ඒ රටවල මහ බැංකු අනුගමනය කළත් අපේ මහ බැංකුව බුදි යැයි ජනාධිපතිවරයා චෝදනා කළේය. මහ බැංකුව නිදාගෙන ඉන්නේ ඇයි දැයි අපි මහ බැංකු අධිපතිතුමාගෙන් ඇසුවෙමු. ජනාධිපතිතුමා බැංකු නිලධාරින්ට බැණ වැදුණා කිව්වොත් නිවැරදියි නේද? හරිම ප්‍රශ්නයක්නේ. ඔව්. දැඩි විවේචනයක් කළා. බැණ වැදුනාම කියන්න බැහැ. විවේචනයක් කළා. පසුගිය ආණ්ඩුවත් මේ වගේම මහ බැංකුවට චෝදනා එල්ල කළා. ඇයි මෙහෙම වෙන්නේ මේක බැංකුවට ආවේණික දෙයක්ද? දේශපාලන නායකත්වයට අවශ්‍ය යම් යම් දේවල් වේගවත්ව ඉටුකර ගැනීමට වේගවත් ඉදිරි ගමනක්. විශේෂයෙන්ම වර්තමාන නායකත්වයටත් අවශ්‍ය ඉක්මනින්ම මේ ආර්ථිකය ගොඩදාන්න. මහ බැංකුව කියන්නේ ස්ථාවරත්වය අරමුණු කරගත් ආයතනයක් ඔය දෙක අතර පොඩි ගැටුමක් තියෙනවා. සමහර වෙලාවට මහ බැංකුවට සිද්ධවෙනවා වේගයෙන් ගියත් සමහර වෙලාවට බ්රේක් ගහන්න. ජනාධිපතිතුමා බැන්නට පස්සෙද රෑ වෙනකම් ලයිට් දාගෙන වැඩ කළේ? එදා විතරක් නෙවේ. වෙනදාටත් අපි රෑ වෙනකම් වැඩ කරනවා. හදිසි දේවල් කරන්න තිබුණම අපේ නිලධාරින් බොහෝ රෑ වනතුරු සේවය කිරීම විශේෂ දෙයක් නෙවෙයි. මමත් දැක්කා ඇතැම් මාධ්‍යවල බැංකුවේ ලයිට් දාපු පින්තූරයක් සංසරණය වෙනවා. ඒ පිංතූරයේ තියෙන්නේ රාත්‍රී 7.30 ට ගත් එකක් විදිහට. නමුත් අපේ නිලධාරින් මධ්‍යම රාත්‍රිය වනතුරුත් වැඩකරන දවස් තියෙනවා. ජනාධිපතිතුමා මහ බැංකුව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයට සමාජ මාධ්‍ය ජාලා තුළ බොහෝ ජනතා ප්‍රසාදයක් හිමි වී තිබෙනවා. එයින් හැඟෙන්නේ මහ බැංකුව ජනතාවගේ අප්‍රසාදයට පත් වී තිබෙන බවක් නේද? මමත් කිහිපයක් දැක්කා. කලින් කලට ඔය වගේ දේවල් වෙනවා. ආර්ථික විද්‍යා අංශයේ වැඩ කරපු පළපුරුද්ද අනුව මට කියන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට 1970 ගණන්වල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැති කාලෙත් ඔය වගේ චෝදනා එල්ල වුණා. මෙහෙම චෝදනා එල්ල වෙනකොට මහජනතාවටත් සන්තෝෂයි. ජනතාව හිතුවට මහ බැංකුව ජනතාවගෙන් ඈත්වෙලා නැහැ. මුදල් අච්චු ගැසීම පිළිබඳවත් ඔබට චෝදනා එල්ල වෙනවා? මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ අයිතිය. අපි හැම විටම නිවැරදිව එය කළ යුතුයි. ඒවා එහෙම කරන්න ගිහින් තමයි ඔය ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. අපි ඒ තීරණය ගන්නේ, මුදල් කොපමණ ප්‍රමාණයක් සංසරණය කළ යුතුද යන්න තීරණය කිරීමෙන් පස්සේ. අපි නිකුත් කරන මුදල අපේ වගකීම. අපේ වත්කම් අනුව තමයි අපට එය කළ හැක්කේ. අපි එය නිවැරදිව සිදු කරනවා. කොරෝනා බලපෑම හමුවේ ආර්ථිකය හිරවෙලා. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද? මේ වයිරසයේ ක්‍රියාකාරිත්වයේදී සෑම රටක්ම පාහේ තමන්ගේ ආර්ථික කටයුතු කළේ මහ බැංකු මුල්කරගෙන. අපටත් අනිත් රටවල වගේ ආකාර දෙකකින් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. පළමුවැන්න වයිරසයේ බලපෑම සෞඛ්‍ය පැත්තෙන් බලා අඩු හානියකින් වළක්වා ගැනීම. දෙවැන්න එයට පිළියම් ලෙස සමාජයීය දුරස්ථභාවය රැකීම සඳහා ආර්ථිකයට අදාළ ආයතන වසා දැමීම. මෙහිදී ඉබේම ආර්ථික කටයුතු ඇනහිටිනවා. මේ තත්ත්වය තමයි අපි මුහුණ දුන්නේ. වයිරසයේ බලපෑමට ලක් වුණු හැම රටකම ආර්ථිකය මේ තත්ත්වයට මුහුණ දුන්නා. වයිරසය දැඩි ලෙසම බලපෑ මාසය තුළ සෑම රටකම ආර්ථිකය ඍණ අගයක් ගත්තා. මාර්තු මාසයේ එක්සත් රාජධානියේ ආර්ථිකය 20% කින් කඩා වැටුණා. අපේ රටෙත් ආර්ථිකය යම් තරමකට කඩා වැටීමක් සිදු වුණා. එහි ප්‍රමාණය දෙවැනි කාර්තුවේ සංඛ්‍යා ලේඛන එළිදරව් කෙරුණු පසුව දැන ගන්න පුළුවන්. ලෝකයේ බලවත් රටවල් පවා මේ මොහොතේ කඩා වැටෙන විට ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවද? ඉන්දියාව, ඇමරිකාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වගේ රටවල් කොරෝනා වයිරසය කඩා ගන්න මුල් අවස්ථාවේදීම ක්‍රියා කළේ නැහැ. නමුත් අපි ඒ සම්බන්ධයෙන් මුලදීම ඉක්මන් දැඩි ක්‍රියාමාර්ග ගත්තා. අපි අනුගමනය කළේ ආර්ථිකයට වඩා මිනිස් ජීවිතවලට මුල්තැන දෙන ප්‍රතිපත්තියක්. ඒ නිසා අපේ මරණ සංඛ්‍යාව අවම කරත හැකි වුණා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති රාමුවක් ජනතා හිතසුව පිණිස අනුගමනය කිරීමයි ආණ්ඩුව කරගෙන ගියේ. දැන් අපි එයින් ගොඩ එන කාලය. සම්පූර්ණයෙන්ම ඉවර වෙන කාලයක් ගැන පුරෝකථනය කිරීම අපහසු වුණත් දැන් අපි ටිකෙන් ටික ආර්ථිකය විවෘත කරගෙන යාමට පටන්ගෙන තිබෙනවා. ප්‍රතිපත්තියක් ලෙස හැම රටක්ම මෙහිදී අනුගමනය කළේ බැංකු ක්‍රමයට ණය දීම සඳහා අවශ්‍ය ද්‍රවශීලතාව මුදා හැරීමයි. ලෝකයේ සමහර දියුණු රටවල් දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% ත් 20% ත් වගේ මුදලක් මෙහිදී මුදා හැරීම කළා. ඉන් 2% ක් මේ සඳහා යොදුවා. නමුත් ලංකාවේ මෑතදී ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයත් සමග මුදා හැරියේ 1% ක් වගේ ප්‍රමාණයක්. ඒ අනුව බලනකොට අප නිකුත් කළ ද්‍රවශීලතාව සීමා සහිත වුණේ නොයෙකුත් හේතු නිසා. මෙහිදී අපේ රටටම සුවිශේෂී වූ ක්‍රියාමාර්ග ගන්න මහ බැංකුවට බැරිද? ආර්ථික ක්‍රියාදාමයන් කියන්නේ සාමාන්‍යයෙන් පොදු දේවල්. ප්‍රජාත්‍රන්තවාදීව පත්වෙන ආණ්ඩුවක් සකස්කරන ජාතික ආර්ථික ප්‍රතිපත්තියට මහ බැංකුව ඇතුළු ආයතන උදව් දීමයි සිදුවන්නේ. මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආර්ථික ක්‍රියාමාර්ග සකස් කරන ආයතන අතර තිබෙන සංකීර්ණ ක්‍රියාදාමයන් මෙයට බලපානවා. මෙහිදී මහ බැංකුව වැඩ කරන්නේ 1940 සිට ක්‍රියාත්මක වන අපේ මූල්‍ය නීති පනතට අනුවයි. මිල මට්ටම ස්ථාවර පවත්වා ගැනීමත් මූල්‍ය ව්‍යූහයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම යන ප්‍රධාන කරුණු 2 ක් ඔස්සේ මෙහි කටයුතු සිදුවෙනවා. රටක් ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරන්නේ මහ බැංකුව වගේම රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීමක් මහ බැංකුවට තියෙනවා. මෙහෙයවීමකින් පාලනයකින් තොරව ආර්ථික ක්‍රියාදාමවලට හැසිරෙන්නට ඉඩ දුනහොත් වන්නේ මහා විනාශයක්. ඔය තරම්ම ලස්සනට මහ බැංකුවේ කටයුතු වෙනවා නම් මෙතරම් මහජන විරෝධයක් එන්න විදිහක් නැහැ නේද? ඒවා ඉතිං කාලෙන් කාලයට වෙන දේවල්. මතුවෙන ප්‍රශ්නවල ස්වරූපයට අනුව මහ බැංකුවේ තත්ත්වය ජනතාවට වෙනස් වෙනස් විදිහට පේන්න ගන්නවා. මේ දවස්වල බරපතළ ප්‍රශ්නයක් තියෙනවා බැංකු නොවන මූල්‍ය ආයතනවල ප්‍රශ්න. ඒ වගේ ජනතා ප්‍රශ්න එනකොට මහ බැංකුවට විරෝධතා එල්ල වෙනවා. මහ බැංකුවේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතන නියාමනය සඳහා සකස් කිරීමට ආයතනයක් පිහිටුවීමට සකස් කළ පනතක් තවමත් අනුමත නොවී තියෙනවා. අපේ ආර්ථිකය වෙනස් විය යුතු බවට කොරෝනා අපට ඉගැන්නුවා නේද? පැහැදිලිව. ප්‍රධාන දේ තමයි පසුගිය අවුරුදු 40 ක කාලය තුළ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය පටන් ගත් දා ඉඳලා මතු වූ කරුණු ආණ්ඩුවට ප්‍රතිපක්ෂව තිබුණු අදහස් ගැන නැවත හිතා බැලීමක් සිදු කරන්න කාලය එළඹිලා. අපට විශ්වාසයක් තිබ්බා අපේ රටේ දේවල් රට යවලා හරි මිනිසුන් රස්සාවලට රට යවලා හරි අපට විනිමය හොයා ගන්න පුළුවන් කියලා. ඕනෑම දෙයක් පිටරටින් ගෙන්න ගන්න පුළුවන් කියලා. නමුත් මේ කොරෝනා අපට ඒක එහෙම නොවන බවට වැදගත් පාඩමක් ඉගැන්නුවා. ආහාර සුරක්ෂිතතාව, හෑල්ලුවට ලක් කළ යුතු දෙයක් නොවන බවත්, කොරෝනා තමයි අපිට කියලා දුනනේ. දේශීය නිෂ්පාදන හා බැඳුණු ක්‍රියාවලියක් තිබිය යුතු බවත්, අප විශ්වාස කළ ගෝලීයකරණය ප්‍රකාශිත ප්‍රයෝජනවත් දෙයක් නොවන බවත් අප තේරුම් ගත්තා. දේශීය නිෂ්පාදනයට ජාතික ආර්ථික කටයුතුවලට මුල්තැන දිය යුතු බවත්, මෙවන් හදිසි අවස්ථාවක එය ඉතාම වැදගත් බවත් අපට පෙනුණා. අපනයන ආර්ථිකයක් මුල් වූ ස්වයංපෝෂිත ආර්ථිකයකට දිරි දෙන්න මහ බැංකුව සූදානම්ද? ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවද? අපනයන ආර්ථිකය අපි දිරි ගැන්විය යුතුමයි. ආර්ථික ප්‍රතිපත්ති තුලනය කරගෙන එය කළ යුතුයි. ලංකාවේ ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා පටන් ගත්ත කට්ටියකුත් ඉන්නවානේ. එහෙමම කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ රටට වඩාත් සුදුසු වන්නේ මිනිසුන්ගේ නිපුණතා හැකියාවන් අනුව අංශ තෝරා ගැනීමයි. වෙනත් රටවල වාගේ ‘‘දිනන්නන් අහුලා ගැනීම හෝ හඳුනාගැනීම අපත් කළ යුතුයි. ඒ අය උනන්දු කළාම දේශීය වෙළෙඳපොළ ජයගෙන ඊට පස්සේ විදේශ වෙළෙඳපොළත් ඔවුන් ජය ගනීවි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ වෙසක් උත්සවය සමරපු අපි වෙසක් කූඩුත් පිටරටින් ගෙනාවනෙ. ඒ වගේම කෘෂිකාර්මික අංශයේ අපට සෑහෙන දුරක් යන්න පුළුවන්. සංචාරක අංශය වුණත් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිරියට යන්න පුළුවන්. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක වන ආයතන දියුණු කරන්න පුළුවන්. මහ බැංකුවට සැලසුමක් තිබුණද කොරෝනාවලින් පස්සේ ඔළුව උස්සන්නේ කොහොමද කියලා? මේවා අපි කතා කළ දේවල්. ආණ්ඩු වෙනස සිදුවන්නට පෙර සිටම අභ්‍යන්තරව අපි මේ පිළිබඳ සාකච්ඡා කරමින් හිටියේ. පසුගිය මාස දෙකේම මම ඇතුළු භාණ්ඩාගාරයේ වගකිව යුත්තන් ජනාධිපති ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් මුණ ගැසෙමින් සාකච්ඡා කළා. ගත යුතු ක්‍රියාමාර්ග ගැන. සමහර විට අතිගරු ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කළා. කොරෝනා එන්නත් කළින් අපි නොයෙකුත් තීන්දු අරගෙන තිබුණේ. නමුත් ප්‍රශ්නය වුණේ අවශ්‍ය වේගයෙන් කටයුතු නොවීමයි. රටේ මූල්‍ය සංසරණයට මේ හේතු කොච්චර දුරට බලපායිද? මූල්‍ය සංසරණය ගැන මේ මොහොතේ එතරම් වදවිය යුතු නැහැ. එය යම් ප්‍රමාණයකින් වැඩිවේවි. නමුත් ද්‍රවශීලතාව එලෙස වැඩිවුණාට මේ අවස්ථාවේ හැටියට ආර්ථිකය අස්ථාවර කරන තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. පසුගිය මාස 2 ක් තිස්සේම රටේ අස්ථාවර තත්ත්වය මැන බලා මිල මට්ටමේ නරක තත්ත්වයක් ඇති වුණේ නැහැ. දැන් ඇත්තේ අවධමන වගේ තත්ත්වයක්. ඒ නිසා අපට ඉඩකඩ තිබෙනවා ආර්ථිකයේ සංසරණයට මුදල් එකතු කරන්න. ඒක අපි කළා. හැබැයි හෙමින් හෙමින්. මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් මහ බැංකුවෙන් සිදුවුණේ නැති නිසා නේද ETI ආයතනවල ප්‍රශ්න ඇති වුණේ? මේ ප්‍රශ්නය අයිති වෙන්නේ අපේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට. ලංකාවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතන හතළිස් එකක් තියෙනවා. මේවා අධීක්ෂණය වෙලා තියෙනවා. නමුත් කොහේ හෝ සිදු වූ අඩුපාඩුවක් ලෙස ප්‍රශ්නයට බලපාලා තියෙනවා. මූල්‍ය ආයතන බිඳවැටීම ඕනෑම රටක වෙන්න පුළුවන් දෙයක්. ලංකාවේත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් 2ක්, 3ක් වුණා. නමුත් එහෙම කියලා ඔබට වගකීමෙන් නිදහස් වෙන්න බැහැ නේද? නීතිරීති යටතේ කරන්න පුළුවන් දේ මහ බැංකුව කරලා තියෙනවා. ඒ කරලා තියෙන දේ තියෙන දෙයට ප්‍රමාණවත් වෙලා නැහැ. නමුත් හිතාමතා වගකීම් පැහැර හැරීමක් මෙහි සිදු වුණේ නැහැ. මගේ වගකීම තියෙන්නේ ඉදිරියට. අපි ද ෆිනෑන්ස් ආයතනය වහන්න තීරණයක් ගත්තා. ඒකට වෙන කරන්න දෙයක් නැහැ කියලා හැඟුනට පස්සේ එහෙම කළේ. 93% ක් වන කුඩා තැන්පත්කරුවන්ගේ මුදල් අපිආරක්ෂා කළ යුතු නිසයි ඒ තීරණය ගත්තේ. නමුත් ආයතනයේ මුළු තැන්පත් මුදලෙන් එය ලොකු ගාණක් නෙවෙයි. විශාල වශයෙන් මුදල් ආයෝජනය කළ 7% ක් වන පිරිස අත තමයි තැන්පත් මුදලින් විශාල ගාණක් තිබුණේ. ඒ නිසා තවදුරටත් ඉදිරියට ගියා නම් වත්කම් හීන වෙනවා. මේ වගේ ප්‍රශ්න නිසා තමයි ජනතා විශ්වාසය නැතිවෙලා කියලා ඔබට හිතෙන්නේ. මහ බැංකුවේ නිලධාරින්ට ජනතා අපේක්ෂා පිළිබඳ කිසිම හැඟීමක් නැහැ කිව්වොත් නිවැරදියි නේද? ඇයි එහෙම කියන්නේ? අපෝ එහෙම කියන්න එපා. එහෙම එකක් මෙහේ නැහැ. ඒ අයටත් රට ගැන විශාල හැඟීමක් තියෙනවා. ඒ අය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ නැති බව ඇත්ත. කතා කරන්න ඉදිරිපත් වෙන පිරිස අඩු වෙන්නත් පුළුවන්. නමුත් යම් ආයතන තියෙනවා මහජනතාවත් එක්ක ළඟින්ම ගනුදෙනු කරන ආයතන. ETI එක වගේ ආයතන. ඔබ ඔය අහන්නෙ මහ බැංකුව ජනතාවගේ ප්‍රශ්න සලකන්නේ නැති ආයතනයක්ද කියලනේ. මහ බැංකුව එහෙම ආයතනයක් නොවේ. මහ බැංකුවේ සේවය කරන්නෙත් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ පුතාලා, දුවලා. ඒ අය ගැන වෙනස් විදිහට හිතන්න එපා. ටික දෙනෙක් විතරක් ඇති විශාල ආදායම් තියෙන පවුල්වලින් ආපු අය. අපේ ආයතනයේ ස්වරූපය අනුව ජනතාවගෙන් ඈත් වුණු බවක් පේනවා. හැබැයි අපි එහෙම නැහැ. මහ බැංකු නිලධාරීන් කියන්නේ විශාල වැටුප් සහිතව වරප්‍රසාද ලබන නිලධාරීන් පිරිසක් ඒක නිසාද මේ මහ බැංකුවේ නිලධාරින් මෙච්චර උද්ධච්ච? එහෙම එකක් නැහැ. ඒ අයත් රජයේ කොටස්කරුවන් හැටියට වැඩ කරනවා. හැබැයි ඉතිං මෙහෙම දෙයක් තියෙනවා. යම් යම් දේවල් අපි හිතනවා දඩබඩගාලා කළ යුතුයි කියලා. නමුත් පවතින නීති අනුව ඒවා දඩබඩ ගාලා කරන්න බැහැ. අපි කළ හැම දෙයක්ම කළේ නීතිය ඇතුළේ. ප්‍රමාදයට හේතු වුණෙත් නීතිය ඇතුළේ කටයුතු කළ යුතු ආකාරය අධ්‍යයනය කළ යුතු වූ නිසයි. වෙනත් රටවල් කරන්නේ දඩබඩ ගාලා මෙච්චර මුදල් ප්‍රමාණයක් මුදා හරිනවා කියලා තීරණ ගන්න එක. දැන් මේ සම්බන්ධයෙන් මහ බැංකුව ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගවලින් ආර්ථිකයට ලැබෙන ඍජු බලපෑම කුමක්ද? මුදල් හිඟයකට මුහුණ දීලා ඉන්න ව්‍යාපාරික පන්තියට පසුගිය මුදල් මුදා හැරීම කළ යුතුයි. ඉදිකිරීමේ කර්මාන්තයේ යෙදී සිටින අයට මුදල් නැතිකම නිසා ඉදිරි ආයෝජන වැඩ කටයුතු ඇනහිටලා තියෙනවා. ඒ තත්ත්වය වහාම නැති කළ යුතුයි. අපි දැන් ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන ප්‍රශ්නය විසඳීම අපි ඉක්මනින්ම කරනවා. බැංකුවල ද්‍රවශීලතාව බිලියන 150 ක සීමාව දක්වා වැඩි කරනවා. ඊට අමතරව එක් අයකුට මිලියන 25 ක සීමාවකට යටත්ව ණය දෙන්න පුළුවන්. මුදල් හිඟ ආර්ථිකයට මුදල් ලබාදීම මහ බැංකුවේ වගකීම. අපි එය ඉටුකරනවා. ව්‍යාපාරික කටයුතු කියන්නේ මුදල්ම නොවේ. තවත් දේවල් තියෙනවා. ඒ දේවලුත් මේවාට උපකාරක අනුකාරක හැටියට සම්බන්ධ විය යුතුයි. දීප්ති ප්‍රමිතා අධිකාරි ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..