brand logo

වෙඩි තියන්න පොලිසියට ඉගැන්වූයේ කවුද?

04 February 2020

හම්බන්තොට හතාගල රජමහා විහාරස්ථානයේ වැඩ විසූ උණටුවැවේ සීලරතන හිමියන් දෙසතියකට ඉහතදී අපවත් වූයේ වෙඩි වැදීමෙනි. ඒ වෙඩිල්ල ආවේ පොලිස් නිලධාරියකු අත තිබූ පිස්තෝලයකිනි. හතර වරිගෙම නිවන් දකින්නට බුද්ධ චීවරය ඇඳි සීලරතන හාමුදුරුවන්ට, එම පොලිස් නිලධාරියා වෙඩි තැබුවේ අත් වැරදීමකින් බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ පොලිස් කොමිසමට පවසා තිබුණි. දානයකට වැඩම කිරීම අතරතුරේදී වෑන් රියෙන් ගමන් කරමින් සිටි උන්වහන්සේට වෙඩි වදින්නේ පාරේ ගිය අපරාධකරුවකු අල්ලා ගැනීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදීය. එම මොහොතේ සැකකරු හා පොලිස් නිලධාරියා පොර බදා ඇති අතර තුවක්කුව පත්තු වී ඇත්තේ ඒ මොහොතේදීය. එය අත්වැරදීමකින් වූ සිද්ධියක් බව වැඩ බලන පොලිස්පතිවරයා කියන්නේ එබැවිනි. අත්වැරැදීමක් යන විශේෂණ පදය යොදා පොලිසිය එම සිද්ධියෙන් බේරෙන්නට උත්සාහ කළද අපේ කල්පනාවේ හැටියට එහි ඇත්තේ අත්වැරදීමක්ම නොවේ. එය පොලිසියේ උපන්ගෙයි වැරද්දකි. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය පුරාම පොලිස් නිලධාරීන් අඩු වැඩි වශයෙන් මෙවැනි ‘‘බූල්’’ ගසා ඇති බවට උදාහරණ ඕනෑතරම් ඇත්තේය. කොටින්ම කියනවා නම් ලංකාවේ මුලින්ම පොලිස් නිලධාරියකු ඝාතනයට ලක්වන්නේද තමන්ට තම ගිනි අවිය ආරක්ෂා කර ගැනීමට නොහැකිවය . ඒ සරදියෙල් අල්ලන්නට ගිය මොහොතේ ඔහුගේ සගයා වූ මම්මලේ මරික්කාර්ගේ වෙඩි උණ්ඩයකිනි. එවකට මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් සරදියෙල්ගේ නිවස වැටලූහ. සරදියෙල්ට වෙඩි තියන්නට සැරසුණු අහමත් නම් සාජන්වරයාගේ අතෙහි තිබූ තුවක්කුව එකවරම උදුරාගත් මම්මලේ සාජන්වරයාට වෙඩි තබන්නට උත්සාහ කළේය. මම්මලේගේ ඉලක්කය වැරදුණේය. අවසානයේ මම්මලේ අතින් වෙඩි කෑවේ ශඛාන් නමැති පොලිස් කොස්තාපල්ය. ලංකාවේ පළමුවන පොලිස් නිලධාරියා මියගියේ අපරාධකරුවකුගේ වෙඩිල්ලකිනි. එතැනින් පටන් ගත් පොලිස් නිලධාරීන්ගේ ඝාතන එක වැලටම සිද්ධ වූයේ උතුරේ සන්නද්ධ කැරැල්ලත් සමගය. බොහෝ අවස්ථාවලදී සන්නද්ධ තරුණයෝ පොලිස් නිලධාරීන් සතු ආයුධ පැහැරගෙන ඔවුන් ඝාතනය කළහ. ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට උතුරට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේද සන්නද්ධ තරුණයන්ගේ උගුලට හසු වී මැරුම් කෑහ. ඔවුන් මරා දමා ත්‍රස්තවාදීහු පොලිසිය පැමිණි ෆර්ජෝ මෝටර් රියත් පණිවුඩ හුවමාරු යන්ත්‍රය සමග පැහැරගෙන ගියෝය. යුද්ධය අවසන් වූවා කියා පොලිසියේ තත්ත්වය වෙනස් නොවීය. මඩකලපුව වවුනතිවු මුරපො‌ළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් 2018 නොවැම්බර් ඝාතනය කර ඔවුන් සතු තුවක්කු දෙක පැහැර ගැනුණි. යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරියා සතු පිස්තෝලය පැහැරගත් බේබද්දෙක් එම පිස්තෝලයෙන්ම ​පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කළේය. ඒ අතරේ පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරවල ඉලක්කය වැරදී දෙතුන් දෙනෙක් මරණයට පත් විය. කතරගම නාගහ වීදියේ පදිංචි නිරෝෂන් ​පොලිසියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය. ඒ දෙදහස් දහ අට වසරේ ජනවාරි විසි වැනිදාය. එදින නිරෝෂන් තම මිතුරා සමග යතුරුපැදියෙන් ගමන් කළේ තම රාජකාරිය නිමා කර ඉක්මනින් ගෙදර යාමේ අරමුණින්ය. පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කළා යැයි පොලිස් නිලධාරියෙක් නිරෝෂන්ගේ ඔළුවටම වෙඩි තැබුවේය. නිරෝෂන් සමග යතුරුපැදියේ පැමිණි මිතුරා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවත්වන්න යැයි අණ කළ වේගයට එය නවතා ගත ​හොනැකිව මඳ දුරක් ගොස් නැවතීමට උත්සාහ කිරීමේදී ඔවුන්ට වෙඩි තැබූ බවය. මේ වසර කිහිපයකට පෙර පස්යාල ප්‍රදේශයේදී ද ඉන්දික ජයසිංහ නමැති එක්දරු පියෙක්ද පොලිසියේ වෙඩි පහරින් මිය ගියේය. ඔහුටත් සිදු වූයේ අණ​ නොතකා යතුරුපැදිය ධාවනය කළ වරදට වෙඩි තබන්නටය. නමුත් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඉන්දික සහ ඔහුගේ තවත් මිතුරකු ගමන් කළ යතුරුපැදිය පොලිස් අණින් නැවැත්වූ පසුත් පොලිසියෙන් වෙඩි තැබූ බවය. වෙඩි තැබූ පොලිස් නිලධාරියා ඇතුළු එම ස්ථානයේ සිටි පස් දෙනකු බීමත්ව සිට ඇති බවද අවසානයේ හෙළිවිය. මේ සිද්ධීන්වලින් පසු එකල සිටි පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට සිය රාජකාරි ගිනි අවි පරිහරණය කරන ආකාරය ගැන වෙනම උපදෙස් මාලාවක් නිකුත් කළේය. මක්නිසාද යත් අපරාධකරුවකු හෝ අපරාධයක් වන අවස්ථාව හැර පොලිසියට හිතුමතේට වෙඩි තියන්නට බැරි බැවිනි. කෙසේ නමුදු හිතුමතේට කෙසේ වෙතත් පොලිසියට ඉලක්කයට වෙඩි තබන්නට බැරි බව නම් පැහැදිලිය. ඊට උදාහරණ ඕනෑ තරම්ය. පොලිසියට මෙහෙම වුණේ ඇයි. නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අපට අදහස් දැක්වූ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ගත් පොලිස් නිලධාරියෙක් පැවසුවේ ඔවුන්ට ගිනි අවි පුහුණුව ලබා දුන්නේ පුහුණු කාලයටම කිහිප අවස්ථාවක් පමණක් බවය. පුහුණුවෙන් පසුව ඔවුන්ට ප්‍රමාණවත් තරම් කාලයක් හෝ නැවත ගිනි අවි භාවිත කිරීමට පුහුණු නොකළ බවද හෙතෙම පැවසුවේය. එසේ බලන විට පැහැදිලි​ වන්නේ පොලිස් නිලධාරියාට දිනපතාම රාජකාරි ගිනි අවිය ලැබුණද ඔවුන්ට වෙඩි තැබීම සඳහා ඇත්තේ පුහුණු කාලයේ ලැබූ අත්දැකීම් පමණක් බවය. එසේ නොමැතිව පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අර්ධ හමුදා ඒකකය වන විශේෂ කාර්ය බළකා සෙබළු හෝ ත්‍රිවිධ හමුදා සෙබළු මෙන් පොලිස් නිලධාරීන්ට යළිදු වරක් ඉලක්කයට වෙඩි තබන්නට පුහුණුවක් ලැබෙන්නේ නැත. අඩුම තරමේ පොලිසියේ දම්වැල් දමා ආරක්ෂා කර ඇති තුවක්කු පත්තු වෙනවා දැයි එම තුවක්කුව ගෙන රාජකාරියට යන පොලිස් නිලධාරීන් දන්නේ නැති බවට හොඳම නිදර්ශනය වන්නේ මාතරදී වූ සිද්ධි​යය. පාතාල සාමාජිකයන් පිරිසක් මාතර රත්රන් බඩු වෙළෙඳසලක් කොල්ලකන්නට ගිය අවස්ථාවේදී පොලිසිය එය වැළැක්වීමට ගියේය. එසේ ගිය එක කොස්තාපල්වරයෙක් සිය ටී - 56 ගිනි අවිය කොල්ලකරුවන්ට එල්ල කර වෙඩි තැබීමට උත්සාහ කළද තුවක්කුව පත්තු වූයේ නැත. ඒ අවසරයෙන් කොල්ලකරුවා තම අවියෙන් කොස්තාපල්වරයාට වෙඩි තබා ඔහු මරා දැමුවේය. නම හෙළි කිරීමට අකැමැති විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ ​නිලධාරියකු පැවසුවේ ලංකාවේ පොලිස් නිලධාරීන්ට දඩ කොළ ලියන්නට වඩා යමක් පුහුණු කළ යුතු බවය. ගිනි අවි පිළිබඳ පුහුණුවක් මෙන්ම ගිනි අවියක් භාවිත කිරීමට මානසික තත්ත්වයක් නොමැති පොලිස් නිලධාරීන්ට ගිනි අවි ලබාදීම වඳුරාට දැළි පිහිය ලබා දුන්නා වගේ වැඩක් බවද ඔහු පැවසුවේය. ලංකාවේ ප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු පැවසුවේ පොලිස් නිලධාරියකු අවිය අතට ගත යුත්තේ පාලනය කර ගැනීමට අපහසුම තැන බවය. මහජන සාමය ආරක්ෂා කර ගැනීමට සිටින පොලිස් නිලධාරීන්ට තමාගේ ගිනි අවිය පත්තු කළ යුත්තේ කුමන තැනකදීද කුමන පුද්ගලයකුට දැයි තෝරා බේරා ගැනීමට බුද්ධිය තිබිය යුතු බවය. පොලිස් නිලධාරීන්ට දෙන ගිනි අවිය හසුරුවා ගැනීමට පහසු එකක් විය යුතුය. ඔහු ඔහුටවත් හසුරුවා ගත නොහැකි ගිනි අවියක් භාවිත කරනවා නම් ඔහුගේ තුවක්කුවෙන් පිටවන උණ්ඩය කුමන අවස්ථාවේ කුමන පුද්ගලයාගේ හදවත පසාරු කරගෙන යාවි දැයි කිව නොහැකිය. පොලිස් ආඥා පනතේ පොලිස් නීතිය යටතේ සඳහන් වී ඇති පරිදි පොලිස් නිලධාරියකුට සිවිල් පුරවැසියකුට වෙඩි තැබීමට පෙර Firing Worn (වෙඩි තබන බවට අනතුරු ඇඟවීමක්) කළ යුතුය. එම අනතුරු ඇඟවීම කළාට පසුවත් අදාළ පුද්ගලයා මෙල්ල නොවේ නම් දණහිසින් පහළට වෙඩි තියන්නට පොලිස් නිලධාරීන්ට හැකියාවක් තිබේ. එම නීතිය යම් තාක් දුරට වෙනස් වෙන්නේ සංවිධානාත්මකව අපරාධ කල්ලියක හෝ රටේ නම ගිය අපරාධකරුවකුව අල්ලා ගැනීමට මෙහෙයුමක් කරන අවස්ථාවකදී පමණි. නීතිය හා සාමය පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක වරෙක එවකට සිටි පොලිස්පතිතුමා හමුවී පවසා ඇත්තේ වෙඩි තැබීමට පුහුණුවක් නොමැති වෘත්තියභාවය අඩු නිලධාරීන් නිසා ජනතාවගේ ජීවිතවලට තර්ජන එල්ල වීම බරපතළ තත්ත්වයක් බවය. මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට විදේශයකින් ඒ සම්බන්ධ විශේෂඥයන් පිරිසක් ලංකාවට ගෙන්වා පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුවක් දීමට උත්සාහ කළද එය ක්‍රියාත්මක වූවේ නැත. එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා වෙඩිපිටි නැවත පොලිස් පුහුණු කටයුතු සඳහා භාවිත කිරීමට තහනම් කරමින් පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් යවා ති​බේ. ජාතික වෙඩි තැබීමේ සම්මේලන නිලවරණයේ සභාපති ශිරන්ත පීරිස් මේ පිළිබඳව පවසමින් වරෙක බී.බී.සී සිංහල පුවත් සේවයට පවසා ඇත්තේ 2015 නිලවරණයේදී තමන් හා සභාපති ධුරයට තරග කර පරාජය වන බව අවබෝධ කරගෙන සිය නාම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව හේමසිරි ප්‍රනාන්දු සම්මේලනයෙන් පළිගැනීමට මෙය කර ඇති බවයි. කෙසේ හෝ කාගේ තරහවන් පිරි මසා ගන්නට කුමක් කළත් අවසානයේ අහිමි වී ගොස් ඇත්තේ පොලිසියේ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී යාමය. කෙසේ නමුදු විදේශ රටවල පොලිසියේ නිලධාරීන්ට ගිනි අවියක් දෙනවා නම් ඔවුන්ගේ මානසිකත්වය ඇස් පෙනීම මෙන්ම ශාරීරික යෝග්‍යතාවද පරීක්ෂා කරයි. ඒ අතරේ ගිනි අවි පිළිබඳව සතියකට වරක් පුහුණුවක්ද ලබාදේ. එහෙත් පාරවල් අයිනේ ටී 56 ගිනි අවි දරාගෙන සිටින රාළහාමිලාට පුහුණුව තබා ඔවුන්ට ශාරීරික යෝග්‍යතාව නැති බව කඳ බඩ මහත ඇඟවල් දකින විට පැහැදිලි වේ. පොලිස් නිලධාරීන්ගේ පුහුණුව පිළිබඳව එල්ලවන චෝදනා ගැන අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් විමසීමට උත්සාහ කළද ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවීය. අශිකා ජයවීර
 

More News..