brand logo

වෙඩින් ඩිරෙක්ටර්ලාට ඇබෑර්තු ඇත!

29 January 2019

‘‘ලංකාවේ හුඟක් ව්‍යාපාරිකයො කිසි දෙයක් අලුතින් කරන්න උත්සාහ කරන්නේ නෑ. යන රැලේම යනවා. එකෙක් ඉඳිකටු ෆැක්ටරියක් දැම්මොත් අනිකා තව එකක් දානවා. කවුරුවත් හිතන්නේ නෑ නූල් ෆැක්ටරියක් දාන්න.’’ මේ කලකට පෙර කවුරුන් හෝ විසින් අපට කියන ලද කතාවකි. මේ කතාව සියයට සියයක්ම ඇත්තක් නොවුණද මෙහි යම් සත්‍යයක්ද තිබේ. අලුතින් සිතා ව්‍යාපාර කරන පිරිසේ යම් අඩුවක් දකින්නට පුළුවන. ඊට බලපාන සාධක බොහෝය. ඒ ගැටලු සරලව එකවර විසඳිය හැකිද නොවේ. අලුත් ව්‍යාපාර සංකල්ප නැතිකම ඒ අතරින් එකකි. අපගේ මේ උත්සාහය අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට කැමැති ව්‍යවසායකයින්ට ව්‍යාපාර නිමිත්තක් දෙකක් සැපයීමයි. අදින් වසර 20කට පමණ පෙර මා මගේ හිතවතුන් කිහිප දෙනකුටම පැවසූ ව්‍යාපාර සංකල්පයක් ‘අරුණ’ පාඨක ඔබ හමුවේ තබන්නේ කාට හෝ ප්‍රයෝජන ගැනීම පිණිසය. අප දන්නා පරිදි අපේ රටේ මෙතෙක් කලක් කිසිවකු විසින් අත නොතැබූ මේ ව්‍යාපාරය ‘මංගල අධ්‍යක්ෂ සේවය’යි. ‘අවමංගල අධ්‍යක්ෂවරු’ යන වචන දෙක අපට හුරුය. හැම ප්‍රධාන නගරයකම වාගේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරු සිටිති. එහෙත් මංගල අධ්‍යක්ෂවරුන් කොතැනකවත් නැත. කෙනකු මිය ගිය පසු එම්බාම් කිරී‍ම් සිට ආදාහනය හෝ භූමදානය කිරීම දක්වා කටයුතු රාශියක් කරනුයේ අවමංගල අධ්‍යක්ෂවරුන් විසිනි.අපගේ අදහසට අනුව නම් අපේ අවමංගල අධ්‍යක්ෂවරුන් අතින් ඉටු නොවන, පවුලේ ඥාතීන් විසින් ඉටු කරගනු ලබන සේවාවන්ද අවමංගල්‍යයකදී සිදු වෙයි. අවමඟුල පිළිබඳව ඥාති හිතමිත්‍රාදීන්ට දැනුම් දීම, ආගමික වතාවත් සංවිධානය කිරීම වැනි කටයුතු උදාහරණ ලෙස දැක්විය හැකිය. එම සේවාවන්ද අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් අතින්ම ඉටුවන්නේ නම් ‘අධ්‍යක්ෂ’ යන වචනයට සාධාරණයක් වනු ඇත යන්න අපගේ අදහසයි. ඒ ගැන කතා කිරීම අපගේ අරමුණ නොවන හෙයින් ‘මංගල අධ්‍යක්ෂ සේවය’ ගැන කතාබහ කරමු. අද කාලයේ විවාහ මංගල්‍යයක් සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. ගැළපෙන සහකරුවකු සහකාරියක සොයාගැනීම සිට දෙවැනි ගමන දක්වා කරන්නට ඇති දේ ඉතා විශාලයි. ඒ හැම කාර්යයක්ම සංකීර්ණය. වෙහෙසකරය. ඒවා වෙනුවෙන් කළ යුතු සැලසුම්, සංවිධාන කටයුතු බොහෝය. මේ නිසාම විවාහය හා බැඳුණු විවිධ අවස්ථාවන් සඳහා සේවා සපයන වෘත්තිකයෝ විශාල පිරිසක් සිටිති. මඟුල් කපුකම්, ජ්‍යොතිෂ කටයුතු, ආරාධනා පත්‍ර සැකසීම, උත්සව ශාලා, ආහාර හා භාණ්ඩ, ඡායාරූප හා වීඩියෝකරණය, මධුසමය සඳහා ස්ථාන, ප්‍රවාහන සේවා ආදිය සැපයීම උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ සියලු කාර්යයන් සිදු කර ගැනීම සඳහා සේවා සපයන්නන් විශාල පිරිසක් පිළිබඳව සොයාබැලීමට සිදුවේ. මඟුල් කපුවකු හෝ පුවත්පත් දැන්වීමක් නැතිනම් පරිගණක දත්ත ඇසුරින් මනාලයකු මනාලියක සොයා ගැනීමට කෙතරම් නම් වෙහෙසිය යුතුද? තමන්ට ගැළපෙන උත්සව ශාලාවක්, ආරාධනා පත්‍ර, ආහාර, ඡායාරූප හා වීඩියෝ ශිල්පීන්, පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නන්, රූපලාවණ්‍ය ශිල්පීන්, නවාතැන්පොළවල් සපයා ගැනීම දින වෙන් කරගැනීම වැනි කටයුතු සඳහා කොතරම් කාලයක්, වෙහෙසක් දැරිය යුතුදැයි මොහොතක් සිතා බලන්න. මේ සියලු සේවාවන් එක් වහලකින් සපයාගත හැකි නම් කොතරම් පහසුවක්ද? ‘‘මගේ පුතාට ගැළපෙන දුවක් හොයල විවාහ කරල දෙන්න ඕන’’ යැයි කෙනකු ඉල්ලීමක් කළ පසු ගැළපෙන සහකාරියක සෙවීම, අවශ්‍ය නම් හඳහන් බැලීම, ආදියද සිදු කොට, ආරාධනා පත්‍ර මුද්‍රණය හා තැපැල් කිරීම, උත්සව ශාලා, ආහාර, කේක්, වෙඩින් කේක්, මධුසමයට හෝටල්, ප්‍රවාහනයට වාහන ආදී සේවාවන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් / ශිල්පිනියන්, අෂ්ටක කියන්නන්, ඡායාරූප ශිල්පීන්, පිළිගැනීමේ කටයුතු සඳහා ගායක කණ්ඩායම්, බෙර වාදන හා නැටුම් ශිල්පීන් යනාදී වශයෙන් පුද්ගල සම්පත් සපයමින් විවාහ මංගල්‍යයේ කුදු මහත් කටයුතු ඉටු කර දිය හැකි නම් මනාලයාගේ පාර්ශ්වයට එය කොතරම් නම් පහසුවක් වනු ඇද්ද? මේ සියල්ල එක වහලකින් කරන්නේ කෙසේදැයි දැන් කෙනකු විමතියට පත්වන්නටද බැරිකමක් නැත. මේ තාක්ෂණික යුගයේ එතරම් අපහසු කටයුත්තක් නොවේ. අවශ්‍ය වන්නේ හොඳ දත්ත ගබඩාවක්, සම්බන්ධීකරණ කාර්යාලයක්, සන්නිවේදන මෙවලම් කීපයක්, සුහද මහජන සම්බන්ධතාවක්, ක්‍රියාශීලී, සංවේදී සේවකයන් දෙතුන් දෙනකු පමණි. මෙහිදී වැදගත් සහ අසීරුම කාර්යය තොරතුරු එකතු කිරීමයි. මඟුල් කපුවන්, පුවත්පත් හා පරිගණක මංගල යෝජනා වැනි හැකි හැම මාධ්‍යයකින්ම මනාලයන් මනාලියන් පිළිබඳ තොරතුරු එකතු කරගන්න. ඒ සියලු මාධ්‍ය සමග සෘජු සම්බන්දතා ඇති කරගන්න. ඒ ආකාරයෙන්ම අනිකුත් සියලු සේවා සැපයුම්කරුවන් හඳුනා ගන්න. ඔවුන්ගේ මිල ගණන්, ලිපිනයන් වැනි සියලු තොරතුරු එක්රැස් කරගන්න. එම සේවාවන් ප්‍රදර්ශනය කළ හැකි ඡායාරූප සහ වීඩියෝ දර්ශන සකසාගන්න. දැන් ඔබ ළඟ විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් යටතේ සැපයෙන සියලු සේවාවන් පිළබඳ හොඳ තොරතුරු එකතුවක් තිබේ. සේවාවන් අපේක්ෂාවෙන් කෙනකු පැමිණිය විට පරිගණකයක්, ප්‍රොජෙක්ටරයක් හා තිරයක් (සුදු බිත්තියක් වුව ප්‍රමාණවත්ය) හෝ තරමක් විශාල රූපවාහිනී යන්ත්‍රයක් ආධාරයෙන් ඔබට මේවා ප්‍රදර්ශනය කළ හැකිය. ගනුදෙනුකරුට ගැළපෙන උත්සව ශාලාවක්, හෝටලයක්, වාහන වැනි දේ එම දර්ශන ආධාරයෙන් තෝරා ගත හැකිය. ඡායාරූප ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන් සහ සෙසු වෘත්තිකයන්ගේ නිපුණතාද එසේම ප්‍රදර්ශනය කළ හැකිය. ඒ සමග ඔවුන්ගේ මිල ගණන්ද ඉදිරිපත් කිරීමෙන් පසු අවශ්‍යතාවට හා හැකියාවට ගැළපෙන සේ සේවා සැපයුම්කරුවන් තෝරාගත හැකිය. සුදුසු මනාලයකු මනාලියක තෝරාගැනීම සඳහා මැදිහත් වීමේදී ඉතාම කල්පනාකාරී විය යුතුය. මේ කාර්යයේදී ඇතැමුන් වංචනික ලෙස කටයුතු කරන බැවින් විනිවිදභාවයකින් විශ්වාසය සුරැකෙන පරිදි හා සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂාව රහස්‍යභාවය සුරක්ෂිත වන පරිදි එම කටයුතු සිදු කිරීමට වග බලාගන්න. සේවාවන් හඳුන්වාදීම හා සම්බන්ධීකරණය වෙනුවෙන් ඔබට තෙවැනි පාර්ශ්වයෙන් යම් මුදලක් ඉල්ලා සිටිය හැකිය. දෙපාර්ශ්වයේ සාකච්ඡාවකින් සාධාරණ මුදලක් තීරණය කරගැනීම අපහසු නැත. මෙහි ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යක්ෂ ​සේවාවන් පිළිබඳ දළ හැඳින්වීමක් පමණි. මේ සංකල්පය තවදුරටත් වර්ධනය කිරීමෙන් ලාබ ලබන අතරම විශාල සමාජ සේවයක්ද කළ හැකි ව්‍යාපාරයක් ඇරඹීම අපහසු නැත.
 

More News..