brand logo

වී ගොවියා ආරක්ෂා කරනවා

06 July 2020

වී ගොවියා ආරක්ෂා කර ගනිමින් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. විනාශ වෙමින් පැවති සහල් ගබඩා ප්‍රතිසංස්කරණය කර වී මිල දී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත් ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ඊයේ (05 වැනිදා) පැවති ජනහමුවට එක් වූ අවස්ථාවේ ගොවීන් පිරිසක් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි. පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ගොස් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විමසීම් කළේය. සහල් හිඟයක් ඇති කිරීමට අරතමැදියන්ට ඉඩ නොදෙන ලෙස ද ගොවීහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් රැකියා ප්‍රශ්නයට හා වල්අලි තර්ජනයට විසඳුම් දෙන ලෙසත් ගොවීහු ඉල්ලා සිටියහ. දිඹුලාගල, කලුකැලේ, රාමදා හෝටලයේ සහ දීප උයනේ පැවති ජනහමු සඳහා ජනාධිපතිරයා සහභාගි වෙමින් ජනතාව අතරට ගොස් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කළේය. පෙරවරු දහයට පමණ ජනාධිපතිවරයා දිඹුලාගලට පැමිණි අතර ඒ වන විටත් එම පෙරමුණේ අපේක්ෂකයන් වන රොෂාන් රණසිංහ හා සිරිපාල ගම්ලත් සමග විශාල ජනතාවක් ද එහි රැඳී සිටියහ. හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්නගේ සංවිධායකත්වයෙන් රාමදා හෝටලයේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සංවිධායකත්වයෙන් දීප උයනේ ද පැවති ජනහමුවලට ජනාධිපතිවරයා සහභාගි වූ අතර හිටපු ජනාධිපතිවරයා පමණක් මෙහිදී ජනතාව ඇමතුවේ ය. අපේක්ෂක සිරිපාල ගම්ලත් එම ජනහමුවලට සහභාගි වූ නමුත් රොෂාන් රණසිංහ එක් නොවීම විශේෂත්වයක් විය.
 

More News..