brand logo

වී, උක්, එළවළු වනසන දළඹුවෙක් රට පුරා ව්‍යාප්ත වෙයි

16 December 2018

ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ආගන්තුක සේනා දළඹුවාගෙන් උතුරු මැද, නැගෙනහිර, උතුර, මධ්‍යම යන පළාත්වල බෝග වගාවන්ට දැඩි තර්ජනයක් එල්ල වීමේ තත්ත්වයක් උදාවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ගන්නොරුව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කෘෂිවිද්‍යා) එස්.එස්. වැලිගමගේ පැවැසීය. ස්පො ඩොප්ටෙරා ෆ්‍රැජිපර්ඩා (Spodoptera frugiperda) හෙවත් ෆෝල් ආමිවෝම් (fall army worm) නමින් හඳුන්වන සේනා දළඹුවා ඇමෙරිකාවේ ජන්ම භූමිය කගෙන පසුව 2016 දී අප්‍රිකාවත් 2018 මුල් භාගයේ ඉන්දියාවටත් සංක්‍රමණය වී ඇත. දිගටම කිලෝමීටර් සීයක් පමණ පියාසර කළ හැකි සේනා දළඹුවා පත්‍රවල එකවර බීජු 150ක් පමණ දමන අතර ඉන් සීයට දහයක් පමණ පැටව් බිහි වන බව වැලිගමගේ පැවැසීය. ශාක පත්‍රවල පිටුපස දළඹුවන් බිත්තර දමන අතර එසේ බිහිවන කුඩා පැටවුන් විශාල දළඹුවන්ගේ ආහාරයක් බවටද පත්ව තිබේ. දැනට බඩඉරිඟු වගාවන්ට දැඩි හානි සිදු කරන අතර උක්, වී හා එළවළු සහ පලතුරුවලටද මෙම දළඹුවාගෙන් අවදානමක් තිබේ. මේ වන විට දළඹුවා මර්දනයට යාන්ත්‍රිකව විනාශ කිරීම (දළඹුවා විනාශ කිරීම) ගසේ දල්ල (ගොබ) කාලා විනාශ කිරීම, නයිට්‍රජන් වැඩි වශයෙන් නොයෙදීම (යූරියා) රෝගය වැලඳුණු ස්ථාන ගැඹුරට සී සෑම, එකම වර්ගයේ බෝග දිගටම වගා නොකිරීම මගින් දළඹුවන් ව්‍යාප්තය හා හානි අවම කර ගත හැකි බව කෘෂිඅංශ පවසයි. දිනකට එක දළඹුවෙක් බෝග විශාල ප්‍රමාණයක් කා දමා විනාශ කරන අතර ශාකයේ දලුවලට හානි සිදුකිරීම නිසා එහි පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. මේ වන විට බඩඉරිඟුවල දැඩි තර්ජනයක් එල්ල වී ඇති සේනා දළඹුවා එහි කරල්වලට හානි සිදුකිරීම නිසා ඌවේ ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ.ඒ. සුමිත්ගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ තාවකාලික නිර්දේශයන්ට යටත්ව කෘමිනාශක වර්ග 12ක් හඳුන්වා දී ඇති බවයි. මෙම කෘමිනාශක පර්යේෂණ මට්ටමේ පවතියි. ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් හා 1920 ක්ෂණික ගොවි සහන සේවා දුරකථන අංකයෙන්ද මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ගොවීන්ට ලබා ගත හැකියි. මෙම දළඹුවා පහසුවෙන් හඳුනා ගත හැකි වන්නේ ඇස් දෙකට ඉහළින් බෙදී යන ලෙස ඉරි කෑලි දෙකක් යා වන ලෙස සටහන්ව තිබීමයි. ඊට අමතරව දළඹුවාගේ පසුපස සමචතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත සලකුණක්ද තිබීම නිසා පහසුවෙන් හඳුනා ගත හැක. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසුවේ මේ වන විට බඩඉරිඟුවලට අමතරව උක් හා වී සහ එළවළු වගාවන්ටද සේනා දළඹුවාගෙන් හානි සිදුවී ඇති බවයි. මෙම දළඹුවා බඩඉරිඟු බීජ හරහා මෙරටට බහුජාතික සමාගම් විසින් ගෙනවිත් ව්‍යාප්ත කර ඇති බවට සැක කරන බව කරුණාරත්න පැවැසීය.
 

More News..