brand logo

වීසා ගැටලුවෙන් දසුන්ගේ ඔටුන්න මැතිව්ස්ට

01 March 2021

ලබන 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තාවකාලික නායකයා වශයෙන් හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ව නම්කර තිබේ. නිත්‍ය නායක වශයෙන් පත් වූ දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අදාළ තරගාවලිය හා එක්වීමට තවමත් අවස්ථාවක් ලැබී නොමැති වීම හේතුවෙන් මැතිව්ස්ව නායකයා ලෙස පත්කොට ඇත. ඊයේ (28 වැනිදා) වනතෙක් දසුන්ගේ වීසා ගැටලුවට නිසි විසඳුමක් ලැබී නොතිබූ අතර ක්‍රිකට් බලධාරීන් නැවතත් අද (29 වැනිදා) ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිත බැව් සැලවේ. ඇමරිකානු වීසා සහිතව වසර දෙකකට පෙර දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වී තිබුණු අතර ඔහු ඉන් පසුව නව විදෙස් ගමන් බලපත්‍රයක් සකසාගෙන තිබුණි. නමුත් අදාළ අලුත් බලපත්‍රය මෙම සංචාරයේදී වීසා ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමේදී, ඇමරිකානු වීසා සහිත අස්ථානගත වූ එකී ගමන් බලපත්‍රයෙන් යමෙක් ඇමරිකාව බලා සංක්‍රමණය වී ඇතිදැයි සොයා බැලීමට සිදුව තිබීමෙන් මෙසේ වීසා ප්‍රමාද වූ බවට සඳහන් වේ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්හි දින තුනක් නිරෝධායනය වීමට සිදු වීමත්, දසුන්ගේ වීසා තවමත් ලැබී නොතිබීමත් සමග ඔහුට විස්සයි විස්ස තරගාවලියම අහිමි වී යනු ඇත. කෙසේ නමුත් ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා දසුන්ට එක්වීමේ අවස්ථාව පවතින බවටද වැඩිදුරටත් වාර්තා වේ.
 

More News..