brand logo

වීරයෙක් වෙන්න ලෙඩුන් මැරූ පිරිමි නර්ස්

17 June 2019

තමා සේවය කරමින් සිටි රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලැබූ බිහිසුණු දාම ඝාතකයෙකු (Serial Killer) ගැන ජර්මනියෙන් වාර්තා වෙයි. නීල්ස් හෝගල් නැමැති මෙම අපරාධකරුවා මෙම රෝහල්වල සේවය කර ඇත්තේ හෙද නිලධාරියෙකු ලෙසිනි. මෙම ඝාතන සම්බන්ධ නඩු විභාගයක් පසුගිය කාලයේ පැවැත්වුණු අතර ඔහු විසින් රෝගීන් 85 දෙනෙකු ඝාතනය කරනු ලැබ ඇති බව එහිදී ස්ථිර වශයෙන්ම සනාථ වී තිබේ. ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නීල්ස් හෝගල් නම් ඔහු සැලකෙන්නේ මෑත කාලයේ ජර්මනියේ සිටි දරුණුම දාම ඝාතකයා ලෙසිනි. මෙම මිනීමරු හෙද නිලධාරියා ඉහත කී මිනීමැරුම් සිදු කර ඇත්තේ 1999 සහ 2005 යන කාලය අතර, ජර්මනියේ ඩෙල්මන්හොස්ට් සහ ඕල්ඩන්බර්ග් යන නගරවල පිහිටි රෝහල් දෙකක සේවය කරමින් සිටියදී ය. මෙහි දී ඔහු සිදු කර ඇත්තේ යම් යම් ඖෂධ අධි මාත්‍රාවලින් එන්නත් කිරීම මගින් රෝගීන්ගේ හෘද ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමයි. ඔහු මෙය කර ඇතැයි පැවසෙන්නේ අපූරු අරමුණක් ඇතිව ය. එනම් මෙම එන්නත් නිසා මරණාසන්න වන රෝගීන් ගේ හෘදයන් පසුව කෘත්‍රිම ආකාරයෙන් යළි පණගැන්වීම මගින් සිය සහෝදර හෙද හෙදියන් අතර වීරයෙකු බවට පත්වීම යි. ඖෂධ එන්නත් කළ රෝගියෙකු පසුව මරණාසන්න තත්ත්වයට පත් වූ විට හෝගල් පැමිණ සෙසු සියලු දෙනා පසෙකට කර තනිවම රෝගියා නැවත පණ ගැන්වීමට ක්‍රියා කරන බව පැවසේ. හෝගල් ගේ සැබෑ ස්වරූපය සහ ක්‍රියාකාරිත්වය ගැන නොදැන සිටි ඔහුගේ සගයින් මරණාසන්න රෝගීන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඔහු සතු හැකියාව ගැන විස්මයට පත්ව සිටි බව ද සඳහන් වේ. = මේ ආකාරයෙන් හෝගල් විසින් ඖෂධ එන්නත් කරනු ලැබූ රෝගීන් සමහරෙකුට නැවත ජීවත් වීමේ වාසනාව හිමිව ඇති නමුත් වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙහි දී හෝගල් ඖෂධ වර්ග පහක් පමණ භාවිතා කර ඇති බව ද අනාවරණය වී තිබේ. ඔහු චෝදනා ලබා සිටියේ මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පමණක් වුවත් හෝගල් අතින් මිය ගිය ගණන මෙයට වඩා වැඩි විය හැකි බවට ද මේ පිළිබඳ විමර්ශන සිදු කළ කණ්ඩායම් සැක කරති. හෝගල් ගේ රහසිගත ක්‍රියාකාරකම් ගැන මුල් වරට සැක පහල වූයේ 2005 වසරේ ය. ඒ, ඔහු එක් රෝගියෙකුට ඖෂධයක් එන්නත් කරමින් සිටිය දී එය වෙනත් නිලධාරියෙකු ට හසුවීම නිසා ය. මෙම සිද්ධිය සිදු වූයේ ඉහත කී ඩෙල්මන්හෝස්ට් හි රෝහලේදී ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව නඩු විභාගයක් පැවැති අතර එහිදී මිනීමැරීමට උත්සාහ කිරීමේ චෝදනා මත 2008 වසරේ දී හෝගල් වසර 7 කට සිරගත කරන ලදී. මෙම නඩු විභාගය පිළිබඳව එකල මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. ඒ ගැන අවධානයෙන් පසු වූ එක් කාන්තාවකට තම මවගේ මරණය සම්බන්ධයෙන් ද එහි දී සැකයක් ඇති විය. ඇයගේ මව ද මියගොස් තිබුණේ හෝගල් පිළිබඳ සිද්ධිය සිදු වූ රෝහලේදීම ය. ඒ නිසා ඉහත කී කාන්තාව සිය මවගේ මරණය සම්බන්ධයෙන් ද සැකයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. මෙම පැමිණිල්ල නිසා නීල්ස් හෝගල් සම්බන්ධයෙන් වඩාත් පුළුල් විමර්ශනයක් දියත් කිරීමට විමර්ශන අංශ පියවර ගත්තේය. එහිදී හෝගල් බිහිසුණු පාපොච්චාරණයක් කර ඇති බැව් සඳහන් වේ. ඔහු පවසා ඇත්තේ තමා රෝගීන් 90 දෙනෙකුට පමණ මේ ආකාරයෙන් ඖෂධ එන්නත් කළ බවයි. ඒ අතරින් රෝගීන් 30 දෙනෙකු පමණ මිය ගිය බව ඔහු පිළිගෙන තිබිණි. ඉතිරි 60 කට ආසන්න පිරිස නැවත කෘත්‍රිම ආකාරයෙන් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ද ඔහු පවසා ඇත. ඔහු මෙම පාපොච්චාරණය කර ඇත්තේ මනෝ චිකිත්සකයෙකු හමුවේ බව ද සඳහන් වේ. ඒ අතර හෝගල් තමා අතින් සිදු වූ මෙම අපරාධ සම්බන්ධයෙන් දැඩි ලෙස පසුතැවෙන බව ද පවසා තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ නැවතත් නඩු විභාගයක් පැවැති අතර ඝාතන දෙකක් සහ ඝාතනයට තැත් කිරීම් දෙකක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබිණි. ඒ 2015 වසරේ ය. තමා අතින් රෝගීන් 30 කට ආසන්න පිරිසක් ඝාතනයට ලක් වූ බවට හෝගල් විසින් කරන ලද පාපෝච්චාරණය නිසා තවදුරටත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙන යාමට විමර්ශකයෝ කල්පනා කළහ. මෙම විමර්ශන ඉදිරියට යද්දී එම නිලධාරීන්ට වැටහී ගියේ රෝගීන් 200 දෙනෙකුගේ පමණ මරණ සම්බන්ධයෙන් සැක පවතින බවයි. මෙහි දී රෝහල්වල පැරණි වෛද්‍ය වාර්තා ආදිය සම්බන්ධයෙන් දැඩි පරීක්‍ෂාවන් සිදු කිරීමට ඔවුන් පියවර ගෙන තිබිණි. වළ දමා තිබූ මළ සිරුරු 130 කට ආසන්න සංඛ්‍යාවක් නැවත ගොඩගෙන පරීක්‍ෂා කිරීමට ද මෙහිදී කටයුතු කරන ලදී. මේ ඔස්සේ විමර්ශකයින් සොයා බැලුවේ එම රෝගීන් ගේ හෘදයාබාධ ඇති වී තිබුණේ ඖෂධවල බලපෑමකින් ද යන්නයි. සමහර මරණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ නොහැකි වූයේ එම මළ සිරුරු ඒ වනවිට ආදාහනය කර තිබූ නිසාය. ඉහත සඳහන් කළ ඩෙල්මන්හෝස්ට් සහ ඕල්ඩන්බර්ග් රෝහල්වල හෝගල් සේවය කරමින් සිටි කාලයේ ඒවායේ රෝගීන් මිය යාම බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ද මෙම විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මේ ආකාරයෙන් විශාල වශයෙන් රෝගීන් මිය යද්දීත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම ගැන මෙම රෝහල්වල බලධාරීන්ට ද චෝදනා එල්ල විය. කෙසේ හෝ වේවා මෙම විමර්ශනවලින් පසු විමර්ශන අංශවල විශ්වාසය වූයේ සියයකට ආසන්න රෝගීන් පිරිසක් හෝගල් අතින් මරණයට පත්වන්නට ඇති බවයි. කෙසේ නමුත් මරණ 97 ක් සම්බන්ධයෙන් නැවතත් 2018 වසරේ ජනවාරි මාසයේ හෝගල් ට එරෙහිව නඩු පවරනු ලැබිණි. පසුගිය 6 වෙනි දින ප්‍රකාශයට පත් වූයේ මේ සම්බන්ධ තීන්දුව යි. එහිදී ඝාතන 85 ක් සම්බන්ධයෙන් හෝගල් වරදකරු වූ අතර ඒ අනුව නැවතත් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය. තමා අතින් සිදු වූ මෙම අපරාධ සම්බන්ධයෙන් අවංකවම පසුතැවිලි වන බැව් හෝගල් එක් අවස්ථාවක ප්‍රකාශ කළේය. මිය ගිය රෝගීන් ගේ ඥාතීන්ගෙන් ද ඔහු සමාව ඉල්ලා තිබිණි. රෝගියෙකු මිය ගිය සෑම අවස්ථාවකම තමා නැවත එවැන්නක් නොකරන බවට අධිෂ්ඨාන කර ගත් බවද, නමුත් එය සාර්ථක නොවූ බව ද ඔහු එම අවස්ථාවේ තව දුරටත් ප්‍රකාශ කළ බැව් වාර්තා විය. සහන් වික්‍රමගේ
 

More News..