brand logo

වීදි කෑම කන්න අලුත්කඩේට එන්න

08 November 2022

හොඳම කතා එළියට එන්නේ අඳුරු තැබෑරුම්වල පරණ වයින් බොන අතරේ වුවද රසම රස කතා එළියට ගන්නට නම් අබ්දුල් හමීඩ් ගේ විදිය පැත්තට යා යුතුමය. ඒ වීදියට ළඟාවෙන්නට ඇති හොඳම පාර අලුත්කඩේ උසාවිය ළඟින් ඇති පාරය. අලුත්කඩේ කියන විට හොරුන්ට මංකොල්ලකරුවන්ට පික් පොකට්කාරයන්ට සුළු දිය පහවෙන්නට ආවත් ස්ට්‍රීට් ෆුඩ් ලවර් ස්ලාට නම් කටට කෙළ උනන්නට පටන් ගනී. අලුත්කඩේ ළඟ පරණ මතක අලුත් කරන්නට එන බොහෝ දෙනාට ඇඩ්‍රස් නැති වෙන්නේ ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ පසුම්බි හිස් වන්නට පටන් ගත් විටය. Colombo Street Food where to find Hulftsdorp @ Not Quite Nigella වෙලාව යන්තමින් හවස හය පසුවී විනාඩි විස්සක් පමණ වන්නට ඇත. අපි අලුත්කඩේට එනවිටත් වැහි අඳුරක් කොළඹ අහස පුරා රජ කරගෙන තිබුණි. අලුත්කඩේ නානලාට නම් ඒ වගේ වගක් නැත. නානලාට පමණක් නොව ඒ විදියේ එහෙ මෙහෙ ඇවිදිමින් කඩචෝරුවල රස බලන පැටි වියේ කොල්ලෝ කුරුට්ටන්ටද ටික් ටොක් කරමින් ගවුම් පොඩි අඹරමින් දඟරපාන කෙල්ලන්ටද වැහි හතක් වැස්සත් ගානක් නෑ වගේය. උන්ට ඕනෑ උණු උණුවේ දුම් දාන සමෝසාවක රස බලන්නටය යහමින් අඩුම කුඩුම දමා දෙන පාන් කොත්තුවක් බඩට දාගන්නටය. නොයෙක් පාට පිරුණු සරුවත් කෝප්පයක් දෙකක් තොළ ගාන්නටය. අලුත්කඩෙත් හරියට හැන්සල් සහ ග්‍රේටල්ට නපුරුකම් කළ දුෂ්ට මායාකාරී සිටින සුරංගනා කතාවේ මායාකාරිගේ කෑම පිරී ඉතිරී ගිය ගෙදර වගේය. ඒ පැත්ත පළාතම පුදුම සුවඳය. මේ කොළඹ නම් කිසිම දිනක එහෙම සුවඳක් අප විඳ නැත. දුම් දමමින් ඉදෙන නානලා හදන බුරියානියේ සුවඳ ,පොල් කටු අඟුරුවලින් පිලිස්සී සෑදෙන මස් පිලිස්සෙන පුසුඹ මෙන්ම පානි පූරියෙන් එන හරි අමුතු සුවඳ නිසා අලුත්කඩේට එන කිසිවෙකු කෑමක් මිලදී නොගෙන නම් ගෙදර යන්නේ නැත. May be an image of 4 people   අලුත්කඩේ කඩ අතර අවිදීමද එක්තරා ආකාරයක කලාවක්ය. එය සීරුවට මාරුවට කළ යුතුය. නැත්නම් රස මිස් වන්නට පුළුවන. රස මිස් නොකර සිටින්නට අපි දැරුවෙ විශාල උත්සාහයක්ය. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපිට වසර හැට පහක කාලයක් තිස්සේ අබ්දුල් හමීඩ් විදියට රස බෙදන තැනක් හොයාගන්නට හැකි විය. පරම්පරාවෙන් පරම්පරාවට රස බෙදන මේ ස්ථානය මග හැර අලුත්කඩෙන් නම් යන්නට නොහැකිය. ' මිස් මොනවාද බලන්නේ, කමුද බුරියානි එකක්. ස්පෙෂල් එකක් දෙන්නම් හදලා 'ඒ කඩේ කිහිප දෙනෙක්ම අපෙන් එහෙම ඇහුවේ එක එක රසට එක එක පාටට සුවඳ විහිදෙමින් පෙනෙන කෑම ගොඩ දෙස ඉවක් බවක් නොමැතිව බලාගෙන ඉන්නවා නෝට් කරගෙන දෝ යැයි සිතී මට හීනියට හිනාවක් ආවේය. නෑ අපි මේ පත්තරෙන් ඔයාල ගැන ආර්ටිකල් එකක් කරන්න ආවේ අපි එහෙම කිව්වේ ජාමේ බේරා ගන්නටය.

''මිස් මේ කඩේට ගොඩාක් අය එන්නේ පිට්ටු කොත්තු කන්න අපේ පිට්ටු කොත්තුව හදන්නේ අපිටම ආවේනික ක්‍රමයකට..සති අන්තෙට එනවා ජපන් ජෝඩුවක් මෙහෙට ඒ එන්නේ මේ පිට්ටු කොත්තුව කන්න. අපි හදල දෙනකන් බලන් ඉන්නව ළඟට වෙලා. දැන් අවුරුදු එකහමාරක් වගේ කාලයක් තිස්සේ එනවා මෙතනට හැබැයි ආවොත් කන්නේ පිට්ටු කොත්තු විතරයි. කාල ඉතුරු වුණොත් එහෙම ඒ ටිකත් ඉල්ලන් යනවා. අපි අහනවා ඒ මොකටද කියල. ෆ්‍රිජ් එකේ තියල උදේට රත් කරලත් කන්නලු ගෙනියන්නේ '' අපිට එහෙම ජපන්නු දෙන්නා කන පිට්ටු ගැන කිව්වේ මේ කඩේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිර්ජාන් මුදලාලිය.

අපිට පිට්ටු කතාව ගැන කියා කිය ඉද්දි නිර්ජාන් අයියේ අද මෙනු එක කොහොමද කියමින් කඩයට ගොඩ වූයේ ඉලන්දාරි කිහිප දෙනෙකි. ඔවුන් සියලු දෙනා ජීවත්වන්නේ ගම්පහ බවත් හැම බදාදවකම අනිවාර්යෙන්ම අලුත්කඩේ එන බව පසුව අපිට නිර්ජාන් කීවේය. කතාව ඇත්තේ එතන නොව කතාව ඇත්තේ නිර්ජාන් ඔවුන්ට කඩේ මෙනු එක දිග හරින්නට පටන්ගත් තැනය. ඔහුගේ මෙනුවේ පාන් කොත්තු, පිට්ටු කොත්තු, චීස් කොත්තු, පරාටා, කොත්තු , මික්ස් කොත්තු ,චිකන් ඩෙවල්, චිකන් පාලන්ඩි, දැල්ලෝ බිත්තර, මාළු බිත්තර ,ඉස්සෝ, බාබත්, ආදී එකී මෙකි නොකී කෑම ලෝකයක්ම තිබේ. මේ සියල්ලම සාධාරණ මිලකට අලුත් කඩේට එන සියලුම දෙනාට දීමට නිර්ජාන්ලා සැමවිටම වග බලා ගත්තේය. ඒ කඩය පසු කරගෙන මීටර් සියක් දෙසීයක් එන විට ඉන්දියාව පැත්තට යන්නට හැකිය. එහෙම කියන විට ඕනෑ කෙනෙකු පුදුම වනවා නිසැකය. ඉන්දියාව කිව්වේ ඉන්දියාවටම නොව ඉන්දියාවෙන් අපිට තෑගී කල පානි පූරියෙ රස බලන්නටය. ඉන්දියාවේ අය පැණි රස ගිලදමන්නට කොහොමත් හපන්නුය. මේ පානිපූරිය හරියට හොකී බෝලයක් වගේය. ගැඹුරු තෙලේ එය බැදගත් විට පපඩමක් වගේ අපුරුවට එන්නේය. ඒ බෝලය මැදින් පොඩි සිදුරක් හදා එයට මුරුක්කු ටිකක් තවත් ධාන්‍ය වර්ග දෙක තුනක් සමග මී පැණි ටිකක් එක් කර ගත්විට එයින් එන රසය සුපිරිය. May be an image of chow mein and indoor අලුත්කඩේට පානිපූරි රස දෙන්නේ ඉම්රාන් ය. ඉම්රාන්ලා පානිපූරි හදන්නේ ඉන්දියාවෙන් බඩු ගෙනවිත් ය. මාසෙකට සෑහෙන්නට ඔවුන් කිලෝ පනහක් පමණ ගෙන එයි.

'' මුල්ම කලේ අපි ඉන්දියාවේ රසටම පානිපූරි හදල දුන්න. හැබැයි කැමති වුණේ නැහැ ලංකාවේ කට්ටිය. ඉන්දියාවේ අය පණිරසට කෑවට ලංකාවේ අය එතරම් පැණි රසට කන්නේ නැහැ. ඒ නිසා අපි රස වර්ග හතරක් හඳුන්වලා දුන්න. ඔන්න එතකොට අපේ අය ඒ රසට කැමති වුණා. දැවිල්ලට සැරට පැණි රසට චොක්ලට් රසට වගේම අපි අයිස් ක්‍රීම් රසටත් පානිපූරි හදල දෙනවා. චිකන් සම්බෝල එක්ක මයෝනිස් ටිකක් දාලා සෝස් ටිකත් දාලා අපි පානිපූරි එකක් දෙනවා. ඒක තමයි දැන් මෙහෙ ප්‍රසිද්ධම. ඒක කන්න එනවා ටුවරිස්ලත්. පානිපූරිවල රියල් රසය තියෙන්නේ පැණි රසට වුණාට ලංකාවේ ඒක ප්‍රසිද්ධ දැවිල්ල රසට. අපි ළඟ තියනවා තව ඔර්ජිනල් චොක්ලට් එක ආමන්ඩ් එකත් එක්ක දාලා දෙන පානිපූරියක්. ඒක නම් කන්න ගොඩක්ම එන්නේ පොඩි දරුවෝ ''

කතාව අස්සේ ඉම්රාන් හරි අපූරු තව කතාවක් කිව්වේය. ඒ කොළඹ බොහෝ පාසල්වල දරුවන්ට කඩල කන්නට හුරු කරන්නටද දැන් ඉන්දියාවෙන් ආ පානිපූරි සමත් වී ඇති බවය. කොළඹ බහුතරයක් පාසල්වල දරුවන්ට දැන් උදේට කඩල කන්නට බැහැ යැයි පවසමින් මුහුණ බෙරි කරගන්නේ නැත. ඔවුන් දැන් කඩල කන්නේ පානිපූරියට දමාය..

'' අල කෑල්ලක් පොඩි කරල බටර් පොඩ්ඩක් දාලා කඩල ටිකක් දාල පානිපූරි දෙනවා ළමයින්ට. ගොඩක් නෝනලා මහත්තුරු ඇවිල්ල ඒවා ගෙනියනවා. කඩල කන්න බැහැ කියන දරුවෝ අපූරුවට කනවා එතකොට.''

ඉම්රාන් කියන්නේ පානිපූරිය කන ක්‍රමයක් තිබෙන බවය. එය හෙමි හෙමීට රස බලමින් කෑමට ගැනීමට නොහැකිය. පානිපූරි කන්නට ඕනේ එකවරමය. ඒ කියන්නේ පානිපූරිය දඩස් ගා කටට දමා ගත යුතුය. සියලුම රසයන් එකවරම දැනෙන්නේ එවිටය. ඉම්රාන්ගේ පානිපූරියට වගේම ශියාම්ගේ ඇපල් පොප් සෝඩා ද බාදම් මිල්ක් ද අලුත් කඩේ හරිම ප්‍රසිද්ධය. ශියාම් ඉන්නේ අලුත් කඩේ කඩ පේළියේ කොනටම වෙන්නය. ඔහුට සිංහල ඒ තරම් හොඳට නම් බැරිය. කැඩිච්ච සිංහලෙන් ඔහු අපිට බාදම් මිල්ක් ගැන කීවේය.

'' බාදම් මිලක් එක බොන්න තමයි මගේ ළඟට එන්නේ ගොඩක් අය. රට වටෙන්ම එනවා මගේ ළඟට. අලුත්කඩේ මගේ ළඟ විතරයි හොඳම රස බාදම් තියෙන්නේ. අවුරුදු පහක් තිස්සේ මම මෙතන ඉන්නේ. ගොඩක්ම එන්නේ බාදම් බොන්න ජෝඩු තමයි. අපි ආමන්ඩ්වලින් තමයි හදන්නේ බාදම් කිරි එක. ආමන්ඩ් කිලෝ එකක් දැන් රුපියල් හයදහසයි. හැබැයි අපි අවුරදු පහම දෙන්නේ බාදම් එක රුපියල් දෙසිය පනහට. දෙයියෝ අපිට දෙන්නේ අපි හොඳම දේ මිනිසුන්ට දෙන නිසා කියල මම විශ්වාස කරනවා. මගේ බාදම් කඩේ ළඟ කවදාවත් හිස් වෙන්නේ නැහැ. දවස් හතේම එක වගේම සෙනඟ එනව. සමහර නිළියෝ සතියකට දෙපාරක් වගේ ආමන්ඩ් මිල්ක් එකක් හදවගෙන බොන්න එනව මගේ කඩේට. එයාලා කියනවා ඒවා බිව්වම ලස්සන වෙනවා කියලා" ශියාම් කීවේය. ශියාම් හදන කූදුරු කූවත් පානය බොන්නටද මේ ස්ථානය ඕනෑ තරම් අය පැමිණෙති. කූදුරු කූවත් කියන්න ඉස්තරම් නැවුම් කිරිවලින් සකසන පානයකටය. මෙම පානයට අවශ්‍ය වර්ණක සොයා ගනු ලබන්නේ සීනි උණු කරමින් සකසා ගන්නා ලද සිරප් වර්ගවලින් ය. මෙහි වර්ණය කහ පැහැතිය. ආමන්ඩ් සමග රට ඉඳි ද මේ කිරි එකට එක්වන නිසා එය අලුත්ම රසක් දැනේ.

බාදම් වලට වගේම ඇපල් පොප් සෝඩා බොන්නටද මෙහි ඇත්තේ පුදුමාකර ඉල්ලුමක්‍ ය. ඒ සෝඩා බීම හරියට චිත්‍රපටියක් රූගත කරනවා වගේය. එක්කෙනෙක් සෝඩා බීම පටන් ගත්විට අනෙක් අය එය වීඩියෝ ගත කරන්නෙය. වීඩීයෝ එකකට ගන්නට තරම් එහි අමුත්තක් ඇත. මේ ඇපල් පොප් සෝඩා එක හදන්නේ නිකන්ම සෝඩා බෝතලේකින් නොව එයට මින්චි කොළ සහ තවත් වර්ග දෙක තුනක් යොදන්නේය. මින්චි ඇතුළු වර්ග හොඳින් කවලම් කර එය කුඩා වීදුරුවකට දමන්නෙය. පසුව ලොකු වීදුරුවකට එකටවරම සෝඩා දමා අර කුඩා වීදුරුව එය තුළට දමන්නෙය. එය දැමූ විගස සෝඩා හයි ස්පීඩ් එකෙන් උඩට එයි ඒ එන සැණින් එය බොන්නට ඕනෑය. එහි ගතිය ඇත්තේ වේගෙන්ම බොන විට බව ශියාම් කීවේය. සෝඩා බෝතලේ වගේ අයටද මේ සෝඩා එක හරිම කදිමය. අලුත්කඩේ ඔරුලෝසුවල වෙලාව හරිම ඉක්මනට යන බව මෙහි එන බොහෝ දෙනා කියති. ඒ බව නම් සහතික බව අපටද දැනුණේ එක කඩයකට දෙකකට ගිහින් එනවිට පැය ගණනක්ම ගත වී තිබූ නිසාය. නාස් පුඩු පිනායන සුවඳක් නැවතත් දැනෙන්නට පටන් ගත්තේය. අපිත් පැණි පස්සේ යන බඹරු වාගේ ඒ පස්සේම ඇදෙන්නට වෙමු. ලොකූ තහඩුවක් මත පාන් පෙති තිහක් හතළිහක් ලාවට රෝස් වෙයි. ඒ පාන් වලට චීස් කෑල්ලක් ඔම්ලට් දැමූ බිත්තරයක් සලාද කොළයක් ගෝවා ටිකක් කැරට් ටිකක් චිකන් කෑලි ටිකක් දමා උසේන් බෝල්ට් දුවන වේගෙන් සැන්විඩ්ච් හදන්නට තවත් කෙනෙක් ඒ ළඟම හිටියේය. ඔහුගේ අත් හරියට වාහනයක වයිපර් දෙකක් වගේය. ඒවාට එක විනාඩියක නිදහසක් නම් ලැබෙන්නේ නැත. අපි ගියේ අලුත්කඩේටද නැත්නම් මෙගාපොලිස් තට්ටු නිවාසය බලන්නටද කියා හිතෙන්නේ තට්ටු තුන හතර දමා හදන මේ සැන්ඩ්විච් එකේ අපූරුව දුටු විටය. සැන්විඩ්ච් හදන්නේ අබ්දුල් හමීඩ්ගේ වීදියේ තබත් අබ්දුල් කෙනෙක්‍ ය. ඒ තරම් වයසක් නැති ඔහු සැන්ඩ්විච් හදන්නට පටන් ගෙන තියෙන්නෙ වයස අවුරුදු පහළොවේදීය.

" අපේ කඩේ එළිවෙනෙකන් ඇරලා පාන් කොච්චර මේ තැටියට දාලා රත් කරත් ඉතුරු වෙන්නේ නෑ. පාන් කොච්චර ගණන් උනත් අපි සැන්ඩ්විච් එක දෙන්නේ රුපියල් තුන්සීයට. සමහරු පාන් වලට බැන්නට මට නම් හරි ගියේම පාන් නිසා" ඔහු එහෙම කීවේය.

May be an image of food පාන් කන්නට එනවා වාගෙම අලුත්කඩේට බොහෝ පිරිසක් එන්නේ බාබකිව් කන්නට ය. බාබ්කිව් අපිට අලුත් වුණාට මුල්ම කාලයේ මස් පුළුස්සා කෑම වීදී ආහාරයක් ලෙස තිබුණේ ග්‍රීසියේය. වීදී ආහරවල ජන්මය එහිය. කොහොම නමුත් දැන් ලංකාවේ කොල්ලො කෙල්ලන්ගේ ප්‍රියතම වීදී ආහරය මේ බාබකිව් ය. බාබකිව් හදන කතාව අපිට කීවේ වසර ගණනාවක් තිස්සේ අලුත්කඩේට බාබකිව් හදන මාශල්ලා හෝටලේ බාබු ය.

" බාබකිව් දාන මේ මස් වර්ග අපි විනාකිරි යි ලුණුයි මිශ්‍ර ජලයේ දහවල් කාලයේ පැය පහක් හයක් පොඟවනවා. ඒකෙන් තමයි මස්වලට මොලොක් බවක් එන්නෙ. හොඳ රසයක් එනවා ඒකෙන්. අපි ගෙන්වනවා පාකිස්තානයෙන් මසාලා කුඩු එකක්. ඒකත් අපි මේකට දානව ඒ දාන්නේ පෙඟිලා ඉවර උනාම වතුරෙන් එළියට අරගෙන. එතකොට මස් එකට රසය පාට දෙකම එනවා. ඒ වගේම අපි බාබකිව් දානකොට මස් එකේ ගිතෙල් ගානවා. ඒකෙනුත් වෙන්නේ අලුත් රසයක් එන නිසා. අපි බාබකිව් දානකොට සුවඳ පැතිරෙන්නේ ඒ නිසා හැම පැත්තටම. මීගමුවේ ඉඳන් එනවා රෑට මේ බාබකිව් කන්න. හැම සති අන්තෙම හැම පැත්තෙන්ම කට්ටිය එනවා "

බාබුලා බාබකිව් හදන්නේ පොල් කටු අඟුරේ පුච්චාය. බාබකිව් දාන්නට පොල්කටු ගේන එකේද අපූරු කතාවක් ඇත. කොළඹ පොල් කටු එකතු කරන අයගෙන් ඔවුහු ඒව මිලදී ගනිති. මෙහේ පොල්කටු තොග මදි නම් ඔවුන් ඒ සඳහා ගාල්ල මාතර පොල් කටු එකතු කරන අයගෙන්ද ඒවා මිලදී ගනී. බාබකිව් එළිවෙනකන්ම හදන නිසා එක රැයකට පොල් කටු අටසීයක් දාහක් ඔවුන්ට වුවමනා වන බව බාබු කීවේය. May be an image of food අලුත්කඩේට එන බොහෝ අය කන්නේ හරියට අන්දරේට කිරි කන්නට බඩේ ඉඩ පොඩ්ඩක් තිබුණ හැටියටය. හැම කඩයක්ම රස වෑහෙම රස ගුලාවක් නිසා එකක් හෝ මිස් කරගන්නට අලුත්කඩෙට එන අය කැමති නැත. ප්‍රණීත ආහාරයක් බිඳුණු හදවතක් සුව කළ හැකි ඔසුවක් බව කියයි. සේරම සෙල්ලම් බත් ඉදෙනකන් විතරයි කියා කියන්නෙත් ඒ නිසාමය. කොහොම නමුත් එක එක දිසාවෙන් එන නානාප්‍රකාර සුවඳවලට සමුදෙන්නට අපට සිදුවූයේ බොහෝ රෑ බෝ වී ඇති නිසාය. යන්නට කලින් දෙයක් කියන්නටම ඕනෑය. අලුතක්ඩේ ඉන්නේ සේරම නානලා ය. නානලාගෙන් කෑම කන සේරමලා සිංහලුන්‍ ය. නානලා කියන්නේ අලුත්කඩේට බිස්නස් එන්නේ සිංහල මිනිස්සුන්ගෙන් බවය. ඒ කියන්නේ ජාති කුල මල ආගම් කිසිම දිනක කෑමට හරස් නොවන බවය. සියලු සත්ත්වයෝ කෑමට ප්‍රිය වන්නෝය. එයට වරහන් හෝ උද්දෘත පාඨ නැත. අශිකා ජයවීර
 

More News..