brand logo

විහිළුවක් දුර ගිහින් ඉස්කෝලෙක නමත් වෙනස් වෙයි

28 March 2021

යටිනුවර කොමලිගොඩ හොරතල් බණ්ඩාර විද්‍යාලයෙන් පහ වසර සමත්ව මහනුවර උසස් බාලිකා විදුහලට ගිය සිසුවියන් දෙදෙනකුට අලි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. අලුත් බාලිකාවේ සිසුවියෝ මේ කියන හොරතල් බණ්ඩාර විදුහලෙන් ගිය සහෝදරියන් දෙදෙනාට ‘හොරතලී’ යන නම පටබැන්දේය. මේ විහිළුව කොයිතරම් දුර ගියේද කියතොත් අවසානයේදී එය කෙළවර වූයේ කොටලිගොඩ හොරතල් බණ්ඩාර විදුහල් බෝඩ් ලෑල්ලෙන් හොරතල් බණ්ඩාර කෑල්ල බිමට හළමිනි. මෙසේ කැටපිටිය පාසලේ නම වෙනස් වූයේ, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුදැනුම අනුව සංවර්ධන කමිටු සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව බව කියැවේ. කෙසේ වෙතත් මෙම නම වෙනස් කිරීමේ තීරණයට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර නම් කැමැත්තක් දක්වා නැත්තේය. ඔහු කියන්නේ 1596 පෘතුගීසීන්ට විරුද්ධව දන්තුරේ සටනේදී පරංගි සේනාවේ නවසියයක් පමණ සතුරන් විනාශ කළ නුගවෙල හුරතල් බණ්ඩාර විරුවාට උපහාර පිණිස පාසලට මෙම නම තබා ඇති බවයි. කෙසේ වෙතත් හොරතල් බණ්ඩාර විදුහල කැටපිටිය ප්‍රාථමිකය වූයේ බොහෝ දෙනකු හොරතල් බණ්ඩාර යන්න හරිහැටි නොදැන සිටි නිසාය. මේ නම නිසා විදුහලේ හිටපු විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන්, විදුහල්පති රැස්වීම්වලට හා වැඩමුළුවලට ගිය විට සමච්චලයට ලක්වූ අවස්ථා බොහෝ නමුත් වත්මන් විදුහල්පතිවරයා වන ඩබ්ලිව්. ජී. එල්. පියතිලක පැවැසුවේ හොරතලා නාමය කාගේත් මතකයේ රැඳුණ නිසා තමන් ජනප්‍රිය අයකු වූ බවයි. ඒත් මේ නම් පටලැවීම පිළිබඳව අදහස් දක්වන හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ. ආර්. අබේසිංහ කියන්නේ කොටලිගොඩ ඉන්ද්‍රරතන ප්‍රාථමික පාසල හොරතල් බණ්ඩාර ප්‍රාථමික විදුහල ලෙස නාමකරණය වූයේ මීට වසර හතළිහකට ඉහතදී බවයි. ඒ ප්‍රාථමික විදුහලේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කර දී බුදු මැදුරක්ද තනවා දුන් එච්. වී. ජිනසේන නමැති අයගේ ඉල්ලීමකට අනුව බවයි. එසේ නොමැතිව ඓතිහාසික හොරතල් කුමාර බණ්ඩාරගේ නාමය මෙම පාසලට සම්බන්ධයක් නැති බවද ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් මෙම පාසලෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මහනුවර උසස් විදුහල්වල්වට ගිය දරුවන්ට ඒ පාසල්වලදී හොරතලා, හොරතලී කීම නිසා ඔවුන්ට සිදුවූ මානසික පීඩනය ඉගැනීම එපා කරවන තරම් වූ බවද ඒ ගමේ බොහෝ දෙනා කියති. පාසලේ අතීතය හාරා අවුස්සා බලන විට කැටපිටිය ප්‍රාථමිකය බිහිවන්නේ මන්කරවත්තගෙදර ලොකු පුතා පැවිදි වී එගම දරුවන් සඳහා අරඹන ලද පෞද්ගලික පාසලකින් බවත් එහි ඉගැන්වීම් කළේ නොමිලයේම බවත් දැනගන්නට තිබේ. ආරම්භයේදී පොල් අතු සෙවිලි කර වටේට කොටුකර තිබූ නිසා පොල්කොටුව ලෙස හැඳින්වූ බවද සඳහන්ය. මෙම පාසල ස්ථීරව පවත්වාගෙන යෑම සඳහා ගම්වැසියකු වූ ගුණවර්ධන නමැති අයෙක් 1955 ජූනි 7 යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පිහිටි කොටලිගොඩ ග්‍රාමයේ පිහිටි හෙක්ටයාර 0.3436 භූමිය පරිත්‍යාග කර එම වසරේම කොටලිගොඩ ශ්‍රී ජිනරතන බෞද්ධ පාසල ලෙස නම් කර තිබෙන අතර එහි ප්‍රථම විදුහල්පති ධුරය දරා ඇත්තේ ආර්. විජේසූරිය නමැති අයයි. ඉන්පසු ගමට පාසලක් ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් ගම්වැසියන් එකතු වී පාසලට ක්‍රීඩා පිටියක් සකස් කරදී තිබේ. 1955 වසරේදී ළමුන් තිස්පහක් සිටි මෙම පාසල 1967 වසර වනවිට දියුණු වී 11 වසර දක්වා පන්ති පවත්වා තිබේ. එසේම එහි ශිෂ්‍ය සංඛ්‍යාව 124 දක්වා වැඩිවී තිබේ. ඉන්පසු විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ රජයෙන් උළු සෙවිලි කළ ගොඩනැගිලි දෙකක් සාදා දී ඇත. වර්ෂ 1982 පමණ වන විට මෙහි එක ගොඩනැගිල්ලක් ගරා වැටී තිබුණ අතර එය සාදා දීමට ඉදිරිපත් වූ එච්. පී. ජිනසේන නමැත්තා පාසලට බුදු මැදුරක්ද සාදා දී විද්‍යාලයේ නාමය හොරතල් බණ්ඩාර කුමාර විද්‍යාලය ලෙස නම් කිරීමට එවකට සිටි විදුහල්පති සිල්වා නමැති අය කැමැති කරගෙන තිබේ. ඒ සඳහා අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු පසු වර්ෂ 1982 දී මෙතෙක් කැටපිටිය ශ්‍රී ජිනරතන විද්‍යාලය නමින් පවත්වාගෙන ආ විදුහල හොරතල් බණ්ඩාර කුමාර විද්‍යාලය නමින් දශක හතරක් පමණ පවත්වාගෙන ගිය අතර නැවතත් මේ වෙනස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් කලාපයේ වැඩිම ලකුණු ලබාගත් දියණියන් දෙදෙනකු මහනුවර උසස් බාලිකාවට ඇතුළු වූ පසු හොරතලී නමින් විහිළු කිරීමට යාමේ සිද්ධියක් දුරදිග යෑම නිසාය. 2015 දී පමණ පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පළාත් ආණ්ඩුකාරවරයා එක්ව හොරතල් බණ්ඩාර නාමය වෙනස් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මැණික්දිවෙල කොටලිගොඩ ගමේ පිහිටි මෙම විදුහල කැටපිටිය ප්‍රාථමික විද්‍යාලය නමින් 2017 නම් කරන ලදී. මෙම නම වෙනස් කිරීම සඳහා උත්සවයක්ද පවත්වා ඇති අතර වර්තමාන විදුහල්පතිවරයා පාසලට එනවිට තරුණයන් පිරිසක්ද මග රැක තර්ජනය කර ඇති අතර විදුහල්පතිවරයා එම පිරිස පාසලට කැඳවාගෙන විත් පාසලේ නම වෙනස් කළේ දෙමාපියන්ගේ ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් බව ඔවුනට වටහා දීම නිසා එම ගැටලුව සමනය වී ඇත. අක්කර දෙකකට වැඩි බිම්කඩක පැවැති මෙම පාසල වසා කොහු කර්මාන්ත ශාලාවක්, ඇඟලුම් හලක් ආදී ව්‍යාපෘති ඉදිරිපත් කර පාසල වසා දැමීමටද ඇතැමුන් යෝජනා කළ අතර අද වනවිට පාසලේ බිමෙන් පිට්ටනිය ඇතුළු විශාල ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් හිමියන් අත්පත් කරගෙන තිබේ. හිටපු ඉඩම් ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මේ පාසලට පිවිසෙන මාර්ගය සකස් කර දීමට යනවිට පිරිසක් විරුද්ධ වී තිබේ. ඒත් එම පිිරිස ගෙන්වා පොලිසියේ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේදී එම පාර කපා දීමටද හෙක්ටර් කොබ්බෑකඩුව ඇමැතිවරයා උපායශීලීව සමත් වූ බව අදද මේ ගමේ වැඩිහිටියෝ කියති. අද වනවිට එම මාර්ගය තිස්මඩ දක්වා දිවෙන කාපට් පාරක් දක්වා සංවර්ධනය වී ඇත. පුරා වසර පහක් පමණ මේ පාසලේ දරුවන්ගේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා උපකාර කර ඇත්තේ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ. ආර්. අබේසිංහය. පාසලේ නාමය කුමක් වුවත් මේ පාසලේ අධ්‍යාපනය ලද දරුවන් අද උසස් තැන්වල වැජඹේ. කාහල නිම්සිරි අබේසිංහ ඔස්ට්‍රේලියාවෙන් පශ්චාත් උපාධිය ලබා අද ස්ලිට් ආයතනයේද, වෛද්‍ය කෝසල රූපස්සර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිද, ඉන්දුමතී රූපස්සර පශ්චාත් උපාධියක් ලබා ඇමරිකාවේත්, ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල ජාතික රූපවාහිනියේත් සේවය කරති. ඒ, මේ විද්‍යාලයෙන් සිප්සතර ලබා රටට, ලෝකෙට සේවය සපයන පිරිසෙන් අතළොස්සක් පමණි. ඔවුන්ගෙන් ඇතැමකු ශ්‍රී ජිනරතන විද්‍යාලයට ඇතුළු වී හොරතල් බණ්ඩාර විදුහලෙන් පිට වූවන්ය. මහේන්ද්‍ර රන්දෙණිය
 

More News..