brand logo

විසිපහකට පී.සී.ආර්. කරන්න වුණා

16 November 2020

ඉතිං කොහොමද මාලී? මේ දවස්වල ඉතිං ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයම භීතියෙන් ඉන්න වෙලාවක්නේ. පරිස්සමින් ඉන්න එක කාටත් හොඳ නිසා සැලකිල්ලෙන් පරිස්සමින් ඉන්නවා. කොහෙද මේ දවස්වල ඉන්නේ? ගෙදරද? ෂූටින්ද? ඊයේ (5) ගෙදර ආවා. දැන් ගෙදරට වෙලා ඉන්නවා. බණ්ඩාරවෙල ඉඳන් ද ආවේ? ඔව්. බණ්ඩාරවෙල ඉඳන් තමයි ආවේ. ලොකු පිම්මක් පැන්නා නේද? අම්මෝ..... මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා. මම මගේ ජීවිතේ අසීරුවෙන්ම, බියෙන්ම ගත කළ දවස් කීපය. යන්තම් ගෙදර ආවා. ඇත්තටම ගෙදර ආවාට පස්සෙ තමයි හුස්ම ගන්නවා දැණුනේ. වටින් පිටින් කියන්නෙ නැතුව කෙළින්ම කතා කරමුකෝ. CAN YOU HEAR ME ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට ගිහින් අධ්‍යක්ෂවරයා ඇතුළු හැමෝටම නිරෝධායනය වෙන්න වුණා නේද? ඒකනේ. නොසිතූ මොහොතකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් සමහර මාධ්‍යවල ප්‍රචාරය වෙච්ච තරම් ලොකු දෙයක් නම් සිද්ධ වුණේ නෑ. අපි ෂූටින් කරන අතරතුර පොලිස් නිලධාරීන් ඇවිත් ෂූටින් නවත්තන්න කිව්වා. හේතුව විදියට කිව්වෙ ගමේ අය 119 ට කතා කරලා රූගත කිරීම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කළා කියලා. මොකද ඇඳිරි නීතිය දාපු කොවිඩ් අවධානමක් ඇති ප්‍රදේශ වලින් ආව නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. සුනිල් අයියා ෂූටින් නතර කළා. අපි හැමෝම නවාතැනට ආවා. අපි එනකොටත් PHI ඇවිත් හිටියේ. අපිට කරුණු පහදලා දීලා දවස් 14කට නවාතැනේම නිරෝධායනය කළා. නිරෝධායනයෙන් නැවතුණේ නැහැනේ. PCR කරන්නත් වුණානේ? ඔව්. ඊට පහුවෙනිදාම අපි 25 දෙනාම PCR කරන්න එක්ක ගියා. ගමක් විතරක් නෙමෙයි මේ ‍තොරතුර ප්‍රචාරය වීමත් එක්ක රටක් බලන් හිටියා ඔයාලගෙ PCR ප්‍රතිඵල එනතුරු? අම්මෝ එහෙම කාලයක්. එහෙම හැඟීමක්. හරියට අනාචාරයේ හැසිරිලා HIV රිපෝට් එනකන් බලන් හිටියා වගේ. ඇත්ත කියන්න එපැයි අපි මානසිකව වැටිලා හිටියේ. කෑවට කෑවා. ඇඳෙන් බාත්රූම් එකට, බාත්රූම් එකෙන් ඇඳට. අධ්‍යක්ෂ සුනිල් කොස්තා අයියා, නිෂ්පාදන කළමනාකාර මලිත් ඇතුළු පිරිස අපිව මානසික නොවැටී තියා ගන්න සෑහෙන්න උත්සාහ කළා. අපේ හිත් හැදුවා. ඒ හැමෝටම පිං. අපිට අපි ගැන විශ්වාසයක් තිබුණා. අපේ කණ්ඩායමේ කාටවත් ළඟ ආශ්‍රිතයෙක් තබා දුර ආශ්‍රිතයෙක්ගෙ ඇසුරක්වත් තිබුණෙ නෑ. හැමෝම පරිස්සම් වුණා. අඩු තරමේ කොළඹ ඉඳන් එක අතර මඟ තේකක් බොන්නවත් නැවැත්තුවේ නෑ. අපි ගෙදරින් හදාගෙන ආපු ඒවා තමයි මඟදි කෑවේ. ඒත් වැරදිලාවත් වැරදීමක් වෙලාද කියලා අපි බයෙන්, තිගැස්මෙන් හිටියේ. ප්‍රතිඵල නෙගටිව් කිව්වම තමයි අපිට සැනසීමක් දැණුනේ. සතුටට හේතුව උණේ හැමෝම නෙගටිව් නිසා. බැරි වෙලාවත් වැරදීමකින් හරි එක්කෙනෙක් වත් පොසිටිව් වුණා නම් අපි 25 දෙනාම ඉවරයි. මේ සිද්ධියෙන් ශලනි තාරකාට තමයි ලොකුම හානිය වුණේ? ඇත්ත. ශලනි මානසිකව වැටුණා. මොකද අපි කාගෙවත්, අඩු තරමෙ නාට්‍යයේ නමවත් නෙමෙයිනේ මාධ්‍යයෙන් ප්‍රචාරය වුණේ ශලනිගෙ නමනේ. ඒ වැරැද්ද කළේ ඒ සිද්ධිය වීඩියෝ කරපු පුද්ගලයා. එයා තනිකරම ටාගට් කළේ ශලිනිව. කිසිම අවසරයක් නැතුව ශලිනියි මමයි හිටපු කාමරයට ඇවිත් PHI මහත්තයා අපිව නිරෝධායනය කරනවා වීඩියෝ කළා. ඇත්තටම අපි හිතුවෙ ඒ පොලිසියේ හරි සෞඛ්‍ය අංශයේ හරි කෙනෙක් වෙන්න ඇති කියලා. ඇත්තටම ඒ කරපු වැඩේ සදාචාරාත්මක නෑ. ඔය සිද්ධියට තටු ලැබුණෙ එතැන ශලිනි හිටපු නිසා. ඔතන හිටියේ ජනප්‍රිය තරුණ කෙනෙක් නෙමෙයි නම් අපි කොළඹ එනකන් වෙච්ච දේ කවුරුත් දන්නෙ නෑ. සෞඛ්‍ය අංශයේ රාජකාරී වලට පොලිසියේ රාජකාරියට අපි ගරු කළා. ඇහුම්කන් දුන්නා. අනවශ්‍ය පුද්ගලයෙක්ගෙ මැදිහත් වීම තමයි අපිට කරදර ඇති කළේ. ගෙවල්වල අය වෙච්ච සිද්ධිය ගැන මොකද කියන්නේ? ඇත්තම කිව්වොත් ගෙදර අය බය වෙන නිසා මම මේ මුකුත්ම කිව්වෙ නෑ. වැස්ස නිසා ෂූටින් නතර කරපු බව තමයි කිව්වෙ. ගෙදරට කතා කරපු ගමන් ෆෝන් එක ඕ‍ෆ් කරනවා. ඔය වීඩි‍යෝ එක අයියගෙ දුව දැකලා තමයි කලබල වෙලා තිබුණේ. ඊට පස්සෙ මගෙ ෆෝන් එක වැඩ නැති නිසා හිතවත් අය ගෙදරට කතා කරලා. එහෙම තමයි මේ සිද්ධිය නිසා අපේ ගෙවල්වල අයගෙ හිත් ගිනි ගත්තේ. හැමෝම නෙගටිව් නම් ඇයි ෂූටින් නතර කළේ? ටික දවසකින් ෂූටින් පටන් ගන්න කියලා සෞඛ්‍ය අංශ අපිට කිව්වා. ඒ වෙන කොට අපි කවුරුත් හිතින් නෙගටිව් වෙලා හිටියේ. ඒ නිසා අපි ගෙදර ආවා. ඇත්තටම කොවිඩ් අවධානම තියෙද්දි ඒ වගේ ගමනක් යන්න බය හිතුණෙ නැද්ද? මේක අපේ රස්සාව. අනිත් එක හොරෙන් ආපු ගමනකුත් නෙමෙයි. අවශ්‍ය අවසර සහිතව ආව ගමනක්. අපිට අපි ගැන විශ්වාසයකුත් තිබුණා. නිරෝධායනය කරනකම් නම් බයක් දැණුනෙ නෑ. ඉදිරිය මොනවා වෙයිද? මේ සිද්ධිය නිසා එක හොඳක් වුණා. බලධාරීන්ගෙ අවධානය යොමු වුණා. අඩු තරමෙ මේ සම්බන්ධව නීති උපදෙස් හරි හැ‍දෙයිනේ. කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න කියනවා නම් අපිත් කොරෝනා එක්ක අපේ රස්සාව කරන්න ඕනෙනේ. එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයේ බර ගාණක් මහ පාරට වැටෙයි. හිමේෂා සවන්තී රාජපක්ෂ
 

More News..