brand logo

විස්සයි විසිහතරේදී මම

19 December 2020

ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගිය සතියේදී පක්ෂයෙන් ඉල්ලා අස්වූවේය. ඔහු එසේ ඉල්ලා අස්වූයේ වෙනත් දේශපාලන ගමනක් යන්නට බවට මේ දිනවල දේශපාලනයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. මේ, ඒ ගැන ‘සති අග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි. අපි පහුගිය දවසක දැක්කා ඔබ සෝම හාමුදුරුවන්ගෙ ඡායාරූපයකට දොහොත් මුදුන් තබා වැඳගෙන ඉන්නවා. ඔබට ඔබේ ජීවිත​යේ සංධිස්ථානවලදි විතරද සෝම හිමිව මතක් වෙන්නේ? එහෙම දෙයක් නෙවෙයි. සෝම ස්වාමීන් වහන්සේ අපවත් වෙලා වසර දාහතක් වුණා. ඒ ගුණ සැමරුම් අවස්ථාවේ ගත්ත ඡායාරූපයක් ගැන ඔබ ඔය අහන්නේ. ඒක වෙනත් අවස්ථාවක ගත්ත ඡායාරූපයක් නෙවෙයි. කොහොම නමුත් දේශපාලනිකව ගත්තොත් සෝම හාමුදුරුවෝ ‘ජනවිජය’ පිහිටුවන්න කලින් ඉඳලම අපි මේ රටේ දේශපාලනය කරපු අය. ඔබේ දේශපාලනයයි, ජාතික හෙළ උරුමයයි කියන්නෙ හරියට ගහයි පොත්තයි වගේ. ඇයි එකපාරටම හෙළ උරුමයේ මහ ලේකම්කමින් සහ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් වුණේ? මෙහෙමයි. අපට පේනවා දෙදහස් විසි එකේදි අපේ රට යන්නෙ ඉතාම භයානක තැනකට කියන එක. එක පැත්තකින් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය. අනෙක් පැත්තෙන් ගෝලීය කොරෝනා වසංගත අර්බුදය සහ ආණ්ඩුව එය වැරදි ආකාරයට කළමනාකරණය කිරීම. අපි නිදහස ලබලා ගෙවුණු වසර හැත්තෑවකට මඳක් වැඩි කාලෙ පුරා විදේශ ණය අරන් තියෙනවා. කොච්චර ණය බර තිබුණත් අපි නියමිත දිනයට දේශීය සහ විදේශීය ණය පියෙව්වා. ඉතිහාසයේ පළමුවැනි වතාවට අපි බංකොළොත් වෙන්න යනවා කියන පණිවුඩය ලෝකෙන් අපට ඇවිත් තියෙනවා. ඒක එහෙම වුණොත් රටක්, ආණ්ඩුවක්, පක්ෂ, ජාති, ආගම් මේ කිසි දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. රටක් බංකොළොත් වෙනවා කියන්නෙ සෑම ජන කොටසකම හිස මත කඩාවැටෙන හෙණපතයක්. ඔය තත්ත්වයත් එක්ක ඇතිවන ප්‍රශ්න කියා නිම කරන්න බැහැ. ඒ තත්ත්වය අපි ආර්ජන්ටිනාවේ, ලෙබනනයේ මෑතකාලීනව දැක්කා. ඉතින් අපේ රටත් එහෙම තැනකට යමින් තිබියදී ඒ තත්ත්වය වෙනස් කළ හැකි මාර්ග අපි හොයන්න ඕනෑ. ඔබ හිතනවද එය වෙනස් කරන්න පුළුවන් කියලා? ඔව්. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා පක්ෂ, පාට භේදයකින් තොරව හැකියාපූර්ණ මිනිසුන් ඉදිරිපත් වෙලා රටේ ආර්ථික, සමාජ, දේශපාලන කළමනාකරණය භාරගන්න ඕන. එහෙම හැකියාපූර්ණ මිනිස්සු මේ රටේ ඉන්නවා. අන්න ඒ පරපුරත් සමග ඉදිරියට යන්න තමයි මම ජතික හෙළ උරුමයෙන් ඉවත් වුණේ. සමගි ජන බලවේගයේ උප සභාපති තනතුරක් ඔබට පිරිනමන්න යන බව කියැවෙනවා. සමගි ජන බලවේගයේ සාමාජිකත්වය සහ යම් තනතුරක් භාරගන්න ඔබ සූදානම්ද? මෙහෙමයි. සමගි ජන බලවේගය කියන්නෙ අපේ දේශපාලන ව්‍යාපාරය. සමගි ජන බලවේගය ඒ වෙලාවෙ පක්ෂයක් හැටියට ව්‍යවස්ථාවක් ගෙනැල්ලා විධිමත්ව ස්ථාපිත කරගත් එකක් නෙවෙයි. දැන් ඒ පිළිබඳව සාකච්ඡාවක් යනවා. එහි ව්‍යවස්ථාව ප්‍රජාතාන්ත්‍රික එකක් වුණොත්, පුද්ගලයෙක් හෝ පවුලක් කේන්ද්‍රීය නොවුණොත්, කුසලතා පූර්ණ මිනිසුන්ට නිසි තැන ලැබෙන සහ ඉදිරියට යන්න පුළුවන් එකක් වුණොත් මම සමගි ජන බලවේගයට බැඳෙනවා. හැබැයි මම මේ දේත් කියන්න ඕන. මම සමගි ජන බලවේගයට බැඳුණා කියලා විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි රටේ තියෙන්නේ. ඊට වඩා දැවැන්ත අර්බුදයක අපි ඉන්නේ. මම දන්නෙ නැහැ රාත්‍රි භෝජන සංග්‍රහවලට යන අය දන්නවද කියලා තමන් වැටිල ඉන්න තත්ත්වයේ පරිමාව. ඒ වගේම අයවැයට අත උස්සන අය දන්නවද දන්නෙත් නැහැ තමන් වැටිලා තියෙන තත්ත්වයේ පරිමාව. ඔබ දන්නවද ඔය පරිමාව? ඔව්, අපි ඒ ගැන බොහොම හොඳින් දැනුවත්. රට බංකොළොත් වේගෙන යන බව ඔබ කියනවා. එයින් අපට හැඟෙන්නේ ආර්ථික කඩාවැටීමක්. ආර්ථිකමය වශයෙන් වගේම රට සමාජයීය අර්බුදයකත් ඇති බවයි අපට පේන්නේ. ඔබත් වචනවලින් මේ තත්ත්වය ලස්සනට පැහැදිලි කරනවා. හැබැයි මෙයින් ගොඩඑන්න පුළුවන් ප්‍රායෝගික සැලැස්මක් ඔබට තියෙනවද? මෙහෙමයි. ඔය ගොඩක් ප්‍රශ්නවලට මම ප්‍රායෝගිකව උත්තර දිලා තියෙනවා. කඩාවැටුණු අමාත්‍යාංශ මම ගොඩනගලා තියෙනවා. හදන්න බෑ කියූ රාජ්‍ය ආයතන අපි හදල පෙන්නලා තියෙනවා. එල්ටීටීඊය පරාජය කරන්න බෑ කියද්දි අපි සමාජ ව්‍යාපාරයක් හදලා එල්ටීටීඊය පරාජය කරලා පෙන්නුවා. අපි අභියෝග ජයගත්ත මිනිස්සු. ආර්ථික සහ ආර්ථිකමය නොවන ගැටලු විසඳන මගේ දැක්ම මේකයි. ඔබ සඳහන් කළ ගැටලු ගැන දැනුවත්, ඒවාට සැබෑ ප්‍රායෝගික විසඳුම් සහිත කුසලතා පූර්ණ පරපුරක් අපට ඉන්නවා. ව්‍යාපාරික, වෘත්තීය, රාජ්‍ය පරිපාලන, කලා, ක්‍රීඩා ආදී සෑම ක්ෂේත්‍රයකම ඔය සුජාත පරපුර ඉන්නවා. අද අපිට පේනවා එල්.පී.එල්. තරගාවලියෙදි අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නම ඔවුන් දක්වන දක්ෂතා. දක්ෂතාවලින් පරිපූර්ණ ඒ සුජාත පරපුරත් එක්ක අපි ඇත්ත සංවාදයක් ආරම්භ කරනවා. ඒ පිළිසඳර එක පවුලකට බලය රැකගන්න කරන දේශපාලන සංවාදයක් නෙවෙයි. අපේ රටේ පවතින ප්‍රශ්න විසඳන ආකාරය සහ ණය බරින් ගැලවෙන හැටි ගැන දෙදහස් දහ නවයේදී මම ඉදිරිපත් කළා ‘ඉන්න හිතෙන රටකට’ යන තේමාවෙන්. ඒවා මගේ ප්‍රතිපත්ති. කොහොම නමුත් අපි ඇති කරගන්නා සංවාදයේදි මතුවන අනෙක් අයගෙත් අදහස්ද ඇතුළත්ව රට ගලවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉක්මනින් අපි රට හමුවේ තබනවා. ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයත් එක්කද? අපි තේරුම්ගත යුතු දේ තමයි සමගි ජන බලවේගය ගම් මට්ටමින් බිම් මට්ටමින් සංවිධානය කරනවා වගේම අධි තක්සේරුවක නොසිටිය යුතුයි කියන එක. මොකද අපිට ඡන්ද ලක්ෂ විසි හත හමාරයි තියෙන්නේ. ජයග්‍රහණය කරන්න අපි ඡන්ද ලක්ෂ හැත්තෑ පහක් ගන්න ඕන. අනෙක අපි ජයග්‍රහණය කරලා විතරක් මදි. එහෙම ජයග්‍රහණය කළා දෙදහස් පහළොවේදී. මේ ආණ්ඩුවත් ජයග්‍රහණය කළා දෙදහස් දහ නවයේදි. හැබැයි රටේ ප්‍රශ්න විසඳලා ඉන්න හිතෙන රටක් නිර්මාණය කරන්න දක්ෂතාවලින් පරිපූර්ණ පිරිසක් ඕන. හැකියාවන් සහිත මිනිස්සු ඕන. අන්න ඒක ගොඩනැගීම තමයි අපි මේ දවස්වල කරන්නේ. අපි ඉදිරියේදී බලය ගන්නෙ ඒ කණ්ඩායමත් එක්කයි. ඔබ මහාචාර්ය නලින් ද සිල්වාව සලකන්නේ ඔ​බේ ගුරුවරයෙක් විදිහටද? පූර්වගාමියෙක් විදිහටද? ඔය දෙකම නෙවෙයි නම් කවුරු විදිහටද? එතුමා මගේ ගුරුවරයෙක්වත්, පූර්වගාමියෙක්වත් නෙවෙයි. හැබැයි නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර සහ සූරිය ගුණසේකර යන මහත්වරු අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මාක්ස්වාදය කියන අධිපති මතවාදයට විරුද්ධව නොයෙක් සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කළා. ඒවායින් අපිත් පෝෂණය ලැබුවා. එච්චරයි. මහාචාර්ය නලින් ඉතා තදින් ඔබව විවේචනය කරන්නෙ ඇයි? ඒකට හේතුව මේකයි. එතුමත් හිටපු ජාතික චින්තනය කියන කණ්ඩායමේ හිටි අයගෙන් දේශපාලනයේ අද උඩින්ම ඉන්නේ මම. එතුමා එතැන නැහැ. මහාචාර්ය නලින් ද සිල්වා ගැන දන්න හැමෝම දන්නවා ඔහු බෞද්ධ ප්‍රතිපත්ති කතා කළාට ඔහුට බෞද්ධ ආධ්‍යාත්මයක් නැති බව. ද්වේශය තමයි හැම වෙලාවකම ඔහුව මෙහෙයවන්නේ. මම කනගාටු වෙනවා එතුමා ගැන. මහාචාර්ය නලින් ද සිල්වා මුහුණු පොතේ සටහනක් තබමින් කියනවා පාඨලී මේ රටේ ජනාධිපති වුණොත් ආර්. ප්‍රේමදාස, පාඨලී ඉදිරියේ ළදරුවෙක් වේවි කියලා. ඒ වගේම ඔහු කියනවා ඔබ ෆැසිස්ට්වාදය කරපින්නාගත් අයෙක් බව. ඔබ ඒ තරම් දරුණු පුද්ගලයෙක්ද? මම එහෙම දරුණු මිනිහෙක් නම් ඒ දරුණුකම පහුගිය මගේ ක්‍රියාකාරීත්වයෙන් පේන්න ඕනනේ. මම කුරාකූඹියකුටවත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. නලින් ද සිල්වා මහත්තයාගේ ද්වේශය තමයි ඔය වචනවලින් පේන්නේ. ඇත්තටම ඔහු ගැන කතා කරන්න දේකුත් නැහැ. හැබැයි මම ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම එක්ක ඇතිවෙලා තියෙන සන්දර්භයේදී එක දෙයක් හොඳින් පැහැදිලිව පේනවා. ඒ තමයි මේ රටේ චින්තනමය ආධිපත්‍ය, දේශපාලන ආධිපත්‍යය, ආර්ථික ආධිපත්‍යය සහ සමාජ ආධිපත්‍යය තමන් සතුයි කියලා හිතන හැමෝම බයවෙලා තියෙනවා. හරි නම් කලබල වෙන්න ඕන හෙළ උරුමෙ අය. එහෙම කලබල වුණු අයගෙන් මම ඉල්ලනවා කලබල වෙන්න එපා කියලා. මොකද අපි මේ කැපවීම කරන්නේ ඔවුන්ගෙත් අපෙත් සියලු දෙනාගේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. අපි සියලු දෙනාට වඩා යහපත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන්. අපට ඔහොම චෝදනා කරන නලින් ද සිල්වා මහත්තයට එයාගේ දරුවෝ මේ රටේ තියාගන්න බැරිවුණා. ඒ දරුවො අද වැඩ කරන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකා එක්සත් ජනපදයට. මගේ බලාපොරොත්තුවත්, පරමාර්ථයත් අපි හැමෝගේම දරුවන්ට ඉන්න හිතෙන රටක් නිර්මාණය කරන එක විතරයි. ඔබ හෙළ උරුමයෙන් ඉවත් වීමට සමගි ජන බලවේගයේ කවුරුවත් බයවෙලා නැද්ද? මෙහෙමයි. සමගි ජන බලවේගය තමයි මේ ආණ්ඩුවට එරෙහිව බිම් මට්ටමේ තියෙන විපක්ෂය. අපි එය අනාගතේ තවත් ප්‍රවර්ධනය කරගත යුතුයි. පුද්ගල ප්‍රශ්න හැම දේශපාලන පක්ෂයකම තියෙනවා. මම ඒවා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඔබ හෙළ උරුමයෙන් ඉවත්වීම ගැන සජිත් ප්‍රේමදාස මොකද කිව්වේ? මම එතුමාට කිව්වා මම ගන්න යන තීරණය ගැන. ඔහු කිව්වා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව මේ දිනවල හදාගෙන යනවා කියලා. එයට දායක වෙන්න කියලත් ඔහු කිව්වා. සමගි ජන බලවේගය සමග එක්වන්න කියලා ඔහු ආරාධනා කළේ නැද්ද? ඔහු ඒ ආරාධනය කළා. මම ඒ ගැන සලකා බලනවා. මොකක්ද ඔබට දෙනවා කියපු තනතුර? මම එහෙම තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ස්ථානය මම, මගේ ශක්තියෙන් තීරණය කරන්නේ. එය තීරණය වෙන්නෙ කාගෙවත් පරිත්‍යාගවලින් නෙවෙයි. මම, මගේ තැන මමම නිර්මාණය කරගන්න මිනිහෙක්. සමගි ජන බලවේගයේ මුල් පෙළේ ජාතික නායකයන් තිදෙනෙක් අපි දකිනවා. ඒ සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ පාඨලී චම්පික රණවක. සජිත් සහ ෆොන්සේකා දැනටමත් පරාජිත ජනාධිපති අපේක්ෂකයන්. එහි වාසියද ඔබ මේ ගන්න හදන්නේ? මෙහෙමයි. මම රජකරවන්න යන්නෙ පරපුරක් මිසක් පුද්ගලයෙක් නෙවෙයි. පුද්ගලයෙක් රජ කරවන්න යන වැඩ මීට පස්සෙ අපි කරන්නෙ නැහැ. දෙදහස් පහළොවේ අපි ඒ අත්හදා බැලීම කරන්න ගිහින් හොඳ පාඩමක් මේ රට ඉගෙන ගත්තා. දෙදහස් දහනවයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා දැන් පාක්ෂිකයන් නොවන දැන උගත් මිනිස්සු කම්පා වෙනවා. අපට පෙනෙන විදිහට ඔබ සාමාන්‍යයෙන් අද ගැන හිතලා තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. දෙදහස් දහ හතරෙදිත් එවක පැවති ආණ්ඩුවෙන් එළියට එන්න ඔබ ගත්ත තීරණය, තීරණාත්මක සාධකයක් වුණා. චම්පික මේ ලෑස්ති වෙන්නෙ විස්සයි විසි හතරේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා විශාල සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් තියෙනවා. මොකක්ද ඔබ ඒ ගැන කියන්නේ? පාඨලී ජනාධිපතිවරණයට එන්න යනවාය කියන කවුරුවත් කියන්නෙ නැහැ මේ මනුස්සයාට මේක දුන්නොත් වැඩේ අනා ගනී කියලා. පාඨලී වැඩ බැරි කෙනෙක්, අදක්ෂයෙක් කියලත් කවුරුවත් කියන්නේ නැහැ. අපේ රටේ අමාත්‍යාංශ ගැන නිසි අධ්‍යයනයක් කළොත් තේරෙනවා කවුද හරියට වැඩ කළේ කියලා. දෙදහස් දහ අටේදී හොඳම අමාත්‍යාංශය විදිහට රන් සම්මානය දිනාගත්තෙ මගේ අමාත්‍යාංශය. රට පිළිබඳව අලුත් අදහසක්, අලුත් දැක්මක් අපට තියෙනවා. අපේ අදහස්වලට බය සමහරු තමයි බල ලෝබය කියලා චෝදනා කරන්නේ. අපේ රටේ සෞඛ්‍ය දර්ශක ගත්තම පළමුවැනි ලෝකයේ රටක් හා සමානයි. අධ්‍යාපන දර්ශකත් එහෙමයි. හැබැයි ආර්ථික දර්ශක, විද්‍යාත්මක දර්ශක, නවෝත්පාදක දර්ශක ගත්තොත් අපි පහළින් ඉන්නේ. බොහොම උගත් නිරෝගී ජනතාවක් ඉඳලත් එහෙම වෙන්න හේතුවක් තියෙනවා. එක්දස් නවසිය තිස් එකේ ඉඳලම එක්තරා පවුල් කල්ලියක් සහ ඒ වටා නිරන්තරයෙන්ම ගොඩනැගෙන පාදඩ ධනේෂ්වර කල්ලියක් එකතු වෙලා රට ඉදිරියට ගෙන යන නිසයි එහෙම වෙන්නේ. මේක වෙනස් කරලා මම කලින් කියපු සුජාත පරපුරට දේශපාලන බලය ලැබිය යුතුයි. ඒ පරපුරේ අය ජනාධිපතිවරු, අගමැතිවරු කරන එක තමයි මගේ අරගලය. ඔබ සැලකෙන්නේ සිංහල බෞද්ධ නායකයෙක් විදිහට. මහින්ද රාජපක්ෂ චරිතය වටා ගොඩනැගුණු සිංහල බෞද්ධ ආකර්ෂණය ඔබට නැඹුරු වෙයි කියල ඔබ හිතනවද? මෙහෙමයි, අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙනකොට එතුමා සිංහල බෞද්ධකම ගැන එතරම් විශ්වාසයක් තබපු කෙනෙක් නෙවෙයි. අපි ඔහුට දෙදහස් පහේදී සහයෝගය දුන්නෙ ඔහු රටේ ඒකීය බව පිළිගත්ත නිසා. හැබැයි එතුමට සහයෝගය දුන්නු බහුතර සිංහල බෞද්ධ ජනතාව සහ නායකයෝ එතුමා ගැනත්, එතුමාගේ පවුලෙ අය ගැනත් බරපතළ කලකීරීමක දැන් ඉන්නේ. ඒ කලකිරුණු පිරිස් දැන් අපිත් එක්ක සංවාදයකට එළැඹිලා තියෙනවා. ඒ ගැන ඒ පැත්තෙ අය බයවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් වියත් මග කියලා හදපු වෘත්තීයවේදිනුත් අද කලකිරිලා. ඔවුන් කියනවා මේ ඔවුන් ප්‍රාර්ථනා කරපු ආණ්ඩුව නෙවෙයි කියලා. ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කන් කෙඳිරිත් අපට ඇහෙනවා. සමහර ඇමැතිවරු කියනවා අපි පුලන්නො වගේ කියලා. එහෙම ප්‍රසිද්ධියේ කියන අය වගේම අප්‍රසිද්ධියේ අපට කතා කරන අයත් ඉන්නවා. ඉදිරි වසර කිහිපයේදී රටට පෙනෙයි මම කලින් සඳහන් කළ සුජාත පරපුර කරලියට ගෙන එන හැටි. ඉතින් අවසන් වශයෙන් දැනගන්න කැමතියි විස්සයි විසි හතරේ සටන ගැන මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නේ කියලා? ඒ ගැන දැන්ම අනාවැකි කියන්න බැහැ. හැබැයි අමතක කරන්න එපා දෙදහස් දහ හතරේ මුල් කාලෙ වෙනකොටත් මේ රටේ කවුරුවත් විශ්වාස කළේ නැහැ මහින්ද රාජපක්ෂ පරාජය වෙයි කියලා, මෛත්‍රිපාල සිරිසේන කරලියට ඇවිත් ජයග්‍රහණය කරයි කියලා. හසිත කුරුප්පු
 

More News..