brand logo

විස්සයි විස්ස ලෝක කුසලානය කල් යන ලකුණු

12 June 2020

මේ වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම ලබන මාසයේ සිදුවනු ඇති බව වාර්තා වෙයි. මෙම නිගමනයට එළැඹ ඇත්තේ පසුගිය බදාදා (10) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමකදීය. තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියාවේයි. බොහෝ පාර්ශ්වවල අදහස වී ඇත්තේ එය ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය වී ඇති නිසා තරගාවලිය ගැන යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවටද අදහස් පළවෙමින් තිබේ. මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ලබන මාසයට කල් තැබීමට ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ මෙම පසුබිම තුළයි. යම් හෙයකින් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන්ද යම් අවධානයක් යොමු වෙමින් ඇති බව වාර්තා වෙයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මුල් වරට පැවැත්වුණේ 2007 වසරේ වන අතර මේ වනවිට තරගාවලි 6 ක් පවත්වා තිබේ. ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ශූරතාව දිනාගෙන ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිල වසර දෙකකම ශූරතාව දිනාගැනීම විශේෂත්වයකි. තරගාවලිය අවසන් වරට පැවැති 2016 වසරේද ශූරතාව දිනාගත්තේද එම කණ්ඩායමයි.
 

More News..