brand logo

විස්සට සහයදුන් ⁣මන්ත්‍රීන්ට මුලින්ම කරන්න යනදේ මෙන්න

24 October 2020

ආණ්ඩුව විසින් සම්මත කරගනු ලැබූ 20 වන සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර තිබිය දී ඊට එරෙහිව යමින් සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කර තිබේ. ඊයේ (23) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක දී එම තීරණය ගෙන තිබේ. එම විශේෂ රැස්වීමේදී ගනුලැබූ තීරණ මෙසේ දැක්විය හැක. (01) - ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ විසිවෙනි සංශෝධනයට එරෙහි වීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ත්‍රයි රේඛීය දැනුම්දීමක් මත (three line whip) ඒකමතිකව තීන්දු කර තිබිය දී ඊට එරෙහිව යමින් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දු කර ඇත. ඒ අනුව, එහි පළමු පියවර ලෙස එම පිරිස පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කර තිබේ. (02) - සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීන්දුවට පටහැනිව සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යානුකූලව විනය පියවර ගැනීමට තීන්දු කර ඇත. (03) - පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමට තීන්දු කරනු තිබේ. (04) - සමගි ජනබලවේගය විසින් කොරෝනා උවදුර සමනය වූ සැනින් පක්ෂයේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට ද තීන්දු කර ඇත. ඉහත ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන සමගි ජනබලවේගය ශක්තිමත්, ජනතාවාදී බලවේගයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.  
 

More News..