brand logo

විස්කි විශේෂයක් කඩදාසි බෝතලවල අලෙවි කරයි

15 July 2020

වසර දෙසීයකට වඩා වැඩි ඉතිහාසයක් ඇති විස්කි විශේෂයක් කඩදාසි බෝතලයකට පුරවා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. නව වෙනස සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ එම විස්කි විශේෂයේ හිමිකාරත්වය දරන ඩියාගෝ නමැති ස්කොට්ලන්ත සමාගමයි. එම විස්කි දැනට බහාලන්නේ වීදුරු බෝතල තුළය. ලබන වසරේ සිට කඩදාසි බෝතල හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්නට සමාගම තීරණය කර තිබේ. නව ඇසුරුම හඳුන්වා දෙන්නේ පරිසර හිතකාමී ඇසුරුමක් ලෙස බව සමාගම පවසයි. වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේදී සාපේක්ෂව බලශක්ති විශාල ප්‍රමාණයක් වැය වන බවත් එම ක්‍රියාවලියේදී කාබන්ඩයොක්සයිඩ් පරිසරයට විමෝචනය කෙරෙන බවත් සමාගම් බලධාරීහු කියති. සමාගමට අවශ්‍ය වී තිබෙන්නේ එම පරිසර දූෂණය උපරිම වශයෙන් අඩු කරගනිමින් සුනිත්‍ය නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමය. කඩදාසි බෝතලය නිෂ්පාදනය කරන්නේ ලීවලින් සකසා ගත් පල්පයක් මගින් බව සඳහන් වේ. කඩදාසි ඇසුරුම එනිසා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. පාන වර්ග බහාලන කඩදාසි ඇසුරුම් බොහොමයක අභ්‍යන්තරය ඉතා සියුම් ප්ලාස්ටික් ස්ථරයකින් ආවරණය කර තිබේ. එවැනි ආවරණය කිරීමක් භාවිතයට ගැනෙන්නේ පානයන් බැහැරට කාන්දුවීම වළක්වා ගැනීම සඳහායි. මෙම විස්කි සඳහා හඳුන්වාදෙන කඩදාසි බෝතල්වල අභ්‍යන්තරයේ එවැනි ප්ලාස්ටික් ආවරණයක් නොමැති බව වාර්තා වේ. පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වාදීමට සමාගම් වෙත එල්ල කෙරෙන බලපෑම මේ වනවිට වැඩිවෙමින් පවතී. සමාගම් හඳුන්වා දී ඇති ප්ලාස්ටික් ඇසුරුම් පාරිභෝගිකයන් පරිසරයට මුදා හැරීම නිසා සිදුවන දූෂණය එහිදී කැපී පෙනෙයි. එවැනි ඇසුරුම් හේතුවෙන් පරිසර පද්ධතිවලට දැඩි හානියක් සිදුවෙමින් තිබෙන බව විද්‍යාඥයෝ අවධාරණය කරති. යුරෝපයේ භාවිතයට ගැනෙන ආහාරපාන ඇසුරුම්වලින් පමණක් ප්ලාස්ටික් ටොන් මිලියන 8.2ක් 2018 වසරේදී පරිසරයට එකතු වී ඇති බව සඳහන් වේ‍. මේ තත්ත්වය සැලකිල්ලට ගත් ආහාර පාන නිෂ්පාදන සමාගම් බොහොමයක් පරිසර හිතකාමී ඇසුරුම් පරිහරණයට පෙලඹෙමින් සිටී. මංජුලා විජයරත්න
 

More News..