brand logo

විෂ පොල් තෙල් ගෙනා 5 දෙනෙක් සී.අයි.ඩි.යට

04 April 2021

ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශනයට අනුව අදාළ පොල් තෙල් මෙරටට ආනයනය කළ සමාගම් තුනක පුද්ගලයන් 5 දෙනකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. අලි බ්‍රදර්ස්, කටාන පිරිපහදුව සහ එදිරිසිංහ පිරිපහදුව යන සමාගම් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්ෂණ ත්‍රිත්වයකදී තහවුරු වී තිබිණි. අදාළ පොල් තෙල් තොග ප්‍රවාහනය කරන ලද බවුසර් දෙකක් දංකොටුව පොලිසිය ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම පොල් තෙල් බවුසර් දෙක මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝග නොතකමින් නැවත රේගුව වෙත රැගෙන යාම සම්බන්ධයෙන්ද පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් පැවැත්වෙන බව අනාවරණය වෙයි. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මෙම 21 වැනි දින අධිකරණයට ලබාදෙන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් රඛිත අබේවික්‍රම පොලිස්පතිවරයාටද නියෝග කර තිබේ. ඉෂාර රත්නකාර
 

More News..