brand logo

විෂබීජ නාශක කුටි අනතුරුදායකයි ඇස්වලට හානි වෙන්න පුළුවන්

12 May 2020

කොවිඩ් -19 ආසාදනය වීම වැළැක්වීමේ පියවරක් ලෙස සාමාන්‍ය ජනතාව සඳහා විෂබීජානුහරණ කුටි (ඩී. සී) භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික, වෘත්තීය සෞඛ්‍යය හා ආහාර සුරක්ෂිතතාව) වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පැවසීය. විවිධ ආයතනවල දක්නට ලැබෙන මෙම කුටි මගින් ජනතාවට ආරක්ෂාව ලබාදෙන බවට හැඟුණද සැබැවින්ම එයින් ආරක්ෂාවක් නොලැබෙන බව ඔහු කීය. මෙම විෂබීජානුහරණ කුටිවලට නිශ්චිත ප්‍රමිතියක් නොමැති අතර ඒවායේද භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වෙනත් රෝගී තත්ත්ව හට ගැනීමටද ඉඩ ඇති බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන් මීට ඇතුළු වන පුද්ගලයන් මත ක්ලෝරීන් ඉසීම නිසා ඇස්වලට හානි සිදුවිය හැකි අතර සමේ රෝග ද ඇතිවිය හැකිය. තවද පාරජම්පුල කිරණ මගින් සමේ පිළිකා ඇති විය හැකිය. මෙම කුටිවලදී විෂබීජ නාශක ඉසින්නේ පිරිසුදු වියම යුතු අල්ලට නොව පිටි අල්ලට බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම පුද්ගලයකු විෂබීජ නාශක කිරීමේ කාල සීමාව පිළිබඳ ප්‍රමිතියක් නොමැති බවද ඔහු මෙහිදී කීය. එබැවින් කොවිඩ් -19 පාලනයේදී වඩාත් වැදගත්වන දෑත් පිරිසුදු කිරීම, මුහුණු ආවරණ නිසි ලෙස පැලඳීම සහ අනෙක් අයගෙන් අවම වශයෙන් මීටරයක දුරක් තබා ගැනීම සඳහා මීට වඩා අවධානය යොමු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ශිරන්තනි මානවඩු
 

More News..