brand logo

විශාල නැව්වලටත් උමං හැදෙයි

26 March 2021

දුම්රිය ගමනාගමනය, බස් ගමනාගමනය සඳහා උමං මාර්ග ඉදි වී තිබුණත් විශාල නැව්වලට ගමන් කළ හැකි උමං මාර්ග මෙතෙක් නිර්මාණය වී තිබුණේ නැත. (දැනට ඇති එවැනි උමග කුඩා යාත්‍රාවලට පමණක් ගමන් කළ හැකි ඒවාය.) ලෝකයේ පළමු වතාවට දැන් විශාල නැව්වලට යාත්‍රා කළ හැකි අපූරු නැව් උමගක් හෙවත් බිංගෙයක් ඉදි වීමට යන බැව් වාර්තා වේ. ඉංජිනේරු විද්‍යාවේ විස්මිත නිර්මාණයක් වනු ඇතැයි විශ්වාස කෙරෙන ඉහත කී නැව් උමග ඉදි කිරීමට යන්නේ නෝර්වේ රාජ්‍යයයි. මේ පිළිබඳ යෝජනාව මුල් වරට ඉදිරිපත් වූයේ වසර ගණනාවකට පෙර වුවත් විවිධ හේතු නිසා එය කල් යමින් තිබූ බැව් සඳහන් වේ. කෙසේ නමුත් මෙම උමගෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වනවිට රජයේ අනුමැතිය හිමි වී ඇත. නෝර්වේහි මෙම නැව් උමග ඉදි කිරීමට සැරසෙන්නේ ස්ටඩ්හැවෙට් නමැති අර්ධද්වීපයේයි. කඳුවලින් ගහණ මෙම අර්ධද්වීපය නෝර්වේහි වයඹ දිශාවේ පිහිටා තිබෙන්නකි. ඉහත කී උමං මාර්ගය මෙම අර්ධද්වීපය හරහා ඉදි කෙරෙන්නක් වනු ඇති බව සඳහන් වේ. දැනට මෙම ඉසව්වේ ගමන් කරන නැව්වලට අර්ධද්වීපයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීමේ දී අර්ධද්වීපය වටා යාත්‍රා කිරීමට සිදු වේ. මෙම මුහුදු කලාපය සැලකෙන්නේ ඉතාම අනතුරුදායක මුහුදු කලාපයක් ලෙසිනි. නිතරම වාගේ මුහුද ඉතා රළු වන අතර සුළි කුණාටු වැනි තත්ත්වයන්ද එහි නිතර ඇති වන බැව් පැවසේ. මේ නිසා ඇතැම් අවස්ථාවල මුහුද යළි ප්‍රකෘති තත්ත්වයට පත්වන තුරු නැව්වලට ඒ ආසන්න වරායන්හි නැංගුරම් ලාගෙන දින ගණන් බලා සිටින්නට සිදු වේ. මෙය නැව් සමාගම්වලට වියදම් අධික කටයුත්තක්ද වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ස්ටඩ්හැවට් අර්ධද්වීපය වටා නොගොස් එය හරහා යා හැකි උමං මාර්ගයක් තනන්නට යන්නේ මෙම ගැටළුව ජය ගැනීම සඳහාය. මෙම උමග නිසා නැව්වලට අනතුරකින් සහ ප්‍රමාදයකින් තොරව එහා මෙහා යාත්‍රා කිරීමට අවස්ථාව උදා වනු ඇත. උමග ඉදි කිරීමට සැලසුම් කර ඇත්තේ අර්ධද්වීපයේ පටු ම ස්ථානය හරහාය. ඒ නිසා එය ඉදි කිරීමට ගතවන කාලය සහ වියදම අවම කර ගැනීමට හැකි වනු ඇත. පළ වී ඇති තොරතුරුවලට අනුව මෙය සැතපුමක් (කිලෝමීටර 1.7ක්) පමණ දිගින් යුතු උමගක් වනු ඇත. පළල අඩි 118කට (මීටර 36කට) ආසන්න වනු ඇති බව සඳහන් වේ. ජලය පිහිටි මට්ටමේ සිට එහි උස අඩි 108ක් (මීටර 33ක්) පමණ වනු ඇත. මෙය දළ වශයෙන් තට්ටු 10ක ගොඩනැගිල්ලක උසට සමාන උස ප්‍රමාණයකි. උමග තුළ ජලයෙහි ගැඹුර අඩි 55ක් (මීටර 17ක්) පමණ වනු ඇති බවද සඳහන් වේ. මෙම විස්මයජනක නැව් උමග ඉදි කිරීම සඳහා නෝර්වේජියානු ක්‍රෝනර් බිලියන 2.8ක් පමණ වැය වනු ඇති බවට ගණන් බලා ඇත. එය ලංකා රුපියල්වලින් බිලියන 65කට ආසන්න මුදලකි. උමග හරහා නැව් ගමනාගමනය වර්ණ සංඥා (traffic light) පද්ධතියක් මගින් පාලනය කරනු ඇති බවද සඳහන්ය. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේයි. එය ඉදි කර අවසන් කිරීම සඳහා වසර තුනක හතරක කාලයක් ගත වනු ඇති බව නොර්වේහි වෙරළ පරිපාලන ආයතනය පවසයි. උමග ඉදි කිරීම සඳහා කඳු ප්‍රදේශය හෑරීමේදී ටොන් මිලියන 8ක පමණ පස් ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වනු ඇති බවද සඳහන් වේ.
 

More News..