brand logo

විශාඛා විදුහල්පතිනිය එපා කී ගුරුවරයාට වෙනත් පාසලක්

14 January 2021

කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් ප්‍රතික්ෂේප කරන ලද උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (13 වැනිදා) පැවසීය. කෙසේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විශාඛා විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් ලේකම්වරයා කීවේය. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ විශාඛා විදුහලෙන් ප්‍රතික්ෂේප කරන ලද එම ගුරුවරයා සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය කුමක්ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. විශාඛා විදුහලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන්ගේ අතිරික්තයක් පවතින බව විදුහල්පතිනිය දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා කීවේය. මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ දස වසරකට අධික කාලයක් සේවය කර ඇති මෙම ගුරුවරයා කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරු කිරීමට ගුරුමාරු මණ්ඩලය ගත් තීරණය අනුමත කළ නොහැකි යැයි ද කී ලේකම්වරයා කෙසේ නමුත් අතිරේක ලේකම්වරියක පාසලට යවා එහි තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගත් බවත් සඳහන් කළේය. උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන් අතිරික්ත බව විදුහල්පතිනිය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ සිට ස්ථාන මාරු ලද ගුරුවරයා පාසලට ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ සිසුවියන්ට උසස් පෙළ සිංහල භාෂාව ඉගැන්වීම සඳහා පිරිමි ගුරුවරයකු සුදුසු නොවන බව සඳහන් කරමිනි. නිලන්ත මදුරාවල
 

More News..